Sunday, November 20, 2011

සමලිංගිකයෝ සහ වාමාංශිකයෝ / Homosexuals and Leftists


සමලිංගික භීතිකාවට එරෙහිව හින්දු ඉන්දියාවේ පැවැති ප්‍රසිද්ධ රැලියක්

මලිංගිකයන් විසින් ලංකාව ගිලගැනීම සදහා සිදුකරන කුමන්ත්‍රනයක් පිලිබද විමර්ශනාත්මක හෙලිදරවුවක් පසුගිය සති කිහිපය පුරා රිවිර පුවත්පත විසින් සිදුකරමින් සිටී.සැප්තැම්බර් 10 වනදා පලවූ මෙම ගවේෂන මාලාවේ මුල්ම ලිපිය අනුව ගමන් මගේ සහකරුවෝ නැමැති රාජ්‍ය නොවන සංවිධානය සර්වෝදය ආයතනයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ සහයෝගය සහිතව සමලිංගිකයන් අතර කොන්ඩොම් සහ ලිංගික සේවනය සදහා ඇවැසි ලිහිසිකාරක ද්‍රව්‍යයක් බෙදාහරිමින් සිටී.අදාල ව්‍යාපෘතිය එහිදී හදුන්වා දී තිබුනේ ලංකාව සමලිංගිකකරනය කිරීම සදහා වූ විදේශ කුමන්ත්‍රනයක් ලෙසය.පසුගිය ඉරිදා (ඔක්තොම්බර් 31) එම පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දී තිබූ ස‍ර්වෝදය අධිපති ඒ.‍ටී.ආරියරත්න සදහන් කොට තිබුනේ තමාට අදාල ව්‍යාපෘතිය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවත්,සමලිංගිකත්වය යනු රෝගී තත්වයක් බවත් කොන්ඩම් යනුවෙන් වර්ගයක් තමන් ජීවිතේට දැක නොමැති බවත්ය.රිවිර පුවත්පතේ මෙම මුලු හෙලිදරවුව පුරාම ගැබ්ව තිබෙන අර්ථය වනුයේ සමලිංගිකත්වය යනු ගර්හා කටයුතු සමාජ විරෝධී ව්‍යසනයකි යන දෘෂ්ටියයි.
කෙසේ වුවද රිවිර පුවත්පත විදේශ කුමන්ත්‍රනයක් ලෙස  හදුන්වා දී තිබෙනුයේ ලංකාවේ සමලිංගික ප්‍රජාව අතර ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා ඔවුන් අතර කොන්ඩම් බෙදාදීම ඉලක්ක කරගනිමින් ඒඩ්ස්, ටියුබකියුලෝසිස් සහ මැලේරියා සඳහා වන ලෝක අරමුදල’ (GFATM) විසින් දියත් කොට තිබූ වැඩසටහනක් බව පසුව ග්‍රවුන්ඩ්ස්වීව් වෙබ් අඩවියට අදහස් පලකොට තිබූ හෑන්ස් බිලිමෝරා විසින් පෙන්වා දී තිබුනි.රිවිර මහා හෙලිදරවුව යනු සමලිංගිකත්වය කෙරෙහි සමාජයේ තිබෙන බැහැරකිරීම්වාදී ආකල්පය හා විදේශ කුමන්ත්‍රන පිලිබද මේ යුගයේ පවත්නා කුහුල අවුස්සා පුවත්පත විකුනා ගැනීම සදහා වූ වෙලද උපක්‍රමයකට වඩා වැඩි දෙයක් නොවන බව මෙනයින් පෙනී යයි.
සමලිංගිකත්වය වනාහි සමාජ ව්‍යසනයකි යන දෘෂ්ටිය ඒ.ටී.ආරියරත්න,රිවිර පුවත්පත පමනක් නොව සමකාලීන සමාජයේ බහුතරය විසින් දරනු ලබන්නකි.මේ නිසා සමලිංගිකත්වය සේම සමලිංගිකයන් ද හෙලා දැකිය යුතු පිරිසක් ලෙස සැලකෙනු ලැබේ.සමාජයේ අධිපතීත්වය දරන මෙම අදහස කවරාකාර වුවත්  සමලිංගිකත්වය යනු සැබැවින්ම රෝගී තත්වයක්වත්,මානසික විකෘතියක්වත් නොවේ.ලමා ව්‍යාධිවේදය පිලිබද අමෙරිකානු ඇකඩමිය 2004 වසරේදී නිකුත් කල පර්යේෂන වාර්තාවකට අනුව පුද්ගලයෙකුගේ ලිංගික නැඹුරුව ජානමය,හෝමෝනමය හා පාරිසරිකමය සාධක ගනනාවක සම්මිශ්‍රනයක් ආශ්‍රයෙන් සකස් වේ.යමෙකු සමලිංගික හෝ විෂමලිංගික වීම සදහා ඔහුගේ ජානමය සැකැස්ම හේතුවන බව අදවන විට බොහෝ විද්‍යාඥයන් පිලිගන්නා අතර මිනිසුන් අතර පමනක් නොව සතුන් අතරත් සමලිංගික චර්යාවන් දක්නට ලැබීම සමලිංගිකත්වය යනු කෘතිම යමක් නොව ස්වභාවධර්මයේ එක්තරා ආකාරයකි යන අදහස තහවුරු කරයි.බෲස් බැගෙම්හිල් විසින් 1999 දී සිදුකල පර්යේෂනයකට අනුව සත්ව විශේෂ 1500 කගේ පමන සමලිංගික චර්යාවන් නිරීක්ෂනය කල හැක.
සමලිංගික හැසිරීම් යනු අනිත් අතට මිනිස් ඉතිහාසය පුරා දක්නට ලැබුනකි.ස්පාඥ්ඥ ආක්‍රමනිකයෝ මායන් හා ඇස්ටෙක් වැනි දකුනු අමෙරිකානු ශිෂ්ටාචාරයන් තුල ප්‍රසිද්ධියේ සමලිංගික හැසිරීම් පැවතුනු අන්දම දැක මවිත වූ බව පැවසේ.චීනයේ ග්‍රීසියේ මෙන්ම අප්‍රිකාවේ ද ආදි සමාජයන්හි සමලිංගික හැසිරීම් පැවති බවට විවිධ සාධක පවතී.කවර සමාජයක වුව සමලිංගිකයින් යම් ප්‍රමානයක් ජීවත් වන බව මේ අනුව අදවනවිට පිලිගැනෙන අදහසයි.සමලිංගික හා පාරලිංගික (Transsexual) ජනතාවන්ගේ අයිතීන් පිලිබද කතිකාවත ඊට සමගාමීව ජාත්‍යනතරව විශාල වශයෙන්  දියුනු වී තිබේ.
මේ අනුව ලංකාවේ ප්‍රචලිතව පවතින සමලිංගිකත්වය යනු රෝගයකි,මනෝ ව්‍යාධියකි වැනි අදහස් ඒ පිලිබද වන සම්පූර්න නොදැනුවත්කම සහ පොදුවේ මෙරට සමාජයේ පසුගාමීත්වය මත අධිපතීත්වයට පත්වූ ඒවා වෙති.යමෙකු ඔහුගේ හෝ ඇයගේ ආගම,වර්නය,ජාතිය මත කොන්කිරීමට ලක්කිරීම වැරදි වන්නේ යම් සේද යමෙකුගේ ලිංගික වරනය මත ඔහුව වෙනස්කොට සැලකීමද නිවැරදි නොවේ.ඕනෑම මිනිස් සමාජයක මෙන්ම ලංකාවේත් සමලිංගික හැසිරීම් සහිත පිරිස් ජීවත් වූ අතර අදද ජීවත් වෙති.එය හුදෙක් ඔවුන්ගේ පැවැත්මේ ආකාරය මිස අස්වාභාවික යමක් නොවේ.කෙසේවුවද ලංකාවේ දන්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය ප්‍රකාරව සමලිංගිකත්වය දන්ඩනීය වරදකි.නීතියේ සිට ජනමාධ්‍ය දක්වා සියලුම නිල ව්‍යුහයන් විෂම ලිංගික ඒකාධිකාරය මත සමලිංගිකත්වය බැහැර කිරීමේ පදනම මත ගොඩනැගී ඇත.
වර්තමානය වනවිට බොහෝ දියුනු සමාජ සමලිංගිකත්වය අපරාධහරනය (De criminalise) කිරීම සදහා යොමුව තිබේ.සමකාලීන ලිබරල් කතිකාවත තුල මෙය ප්‍රබල තේමාවක් වූවද ඉතිහාසය තුල සමලිංගික අයිතීන් වෙනුවෙන් කීර්තිමත් අරගලයක නියුතු වූවෝ වාමාංශිකයෝ වෙති.සාර් විසින් සමලිංගිකත්වයට එරෙහිව පනවා තිබූ සියලු නිති 1917 දී බලයට පත් විප්ලවීය රුසියානු රජය ඉවත් කරන යුගයේ බටහිර යුරෝපීය  කතිකාවත තුල සමලිංගිකත්වය පිලිබද කතාබහක් හෝ නොවීය. (කෙසේවුවද විප්ලවයේ මුල් යුගයේදී ඉවත් කල මෙම තහනම 1934 දී ස්ටාලින් විසින් නැවත පනවන ලදී) සමලිංගික අයිතීන් පිලිබද විවාදය යුරෝපය තුල දැඩිව නැගුනු 60 දශකයේදී එම අයිතීන් වෙනුවෙන් ප්‍රබල පෙනීසිටීමක් සිදුකලේ වාමාංශික කොටස් විසිනි.ජාත්‍යන්තරව මෙම තේමාව සම්බන්ධයෙන් වාමාංශිකයන්ගේ පෙනී සිටීම් කවරාකාර වුවද සමලිංගික භීතිකාව නැමැති පසුගාමී මනෝභාවය ප්‍රශ්න කිරීමට මෙරට වම ඉතිහාසයේ කිසිදු විටෙක සමත් නොවීම කනගාටුවට කරුනක් වන්නේය.
..රාමචන්ද්‍ර..

No comments:

Post a Comment