Tuesday, November 8, 2011

එකමත් එක රටෙක මායාකාරී ස්ත්‍රිය
 
 
''පුරුෂ බලපරාක්‍රමය බිඳගෙන නැගී සිටි කාන්තාවක්'' මේ සනත් ගුණතිලක විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද ''එකමත් එක රටක'' චිත්‍රපටයේ තේමාපාඨයයි. එය දුටු සැණින් ස්ත්‍රීවාදී කතිකාවක් වටා ගොඩ නැගෙතැයි බලාපොරොත්තු විය හැකි මෙම චිත්‍රපට නරඹා අවසානයේදී පිරිමියා විසින් ගොඩනගන ලද ඉතිහාසයේදී ස්ත්‍රිය යටපත් කිරීමට යොදාගන්නා ලද දෘෂ්ඨිවාදය ව්‍යාප්ත කරන සංස්කෘතික නිර්මාණයක් බවට ''එකමත් එක රටක'' චිත්‍රපටය පත්වීම එක්තරා දෛවෝපගත සිදුවීමකි.

''එකමත් එක රටක'' චිත්‍රපටයේ කතා සාරාංශය මෙලෙසය.

අතිශය විනයානුකූල ලෙස පිළිවෙළට තම ජීවිත රටාව රැගෙන එක්තරා විරූපී මිනිසෙකු ජීවත් වේ. ඔහු තමන්ගේ ඒකාකාරී ජීවන රටාවට සවිඥානිකය. සෞන්දර්ය රස විදින මොහු තමන්ගේ දුක සැප ඛෙදාගන්නා එකම සගයා Good Girlනම් බැල්ල සමග සිටින විට බටනලාවාදනයට ද පුහුණු වේ.

මේ අතර අසල ඇති ධනවතාගේ මැදුරට ඔහුගේ විදේශිකව ඉගෙනුම ලැබූ දියණිය පැමිණේ. බටනලා වාදනයට ඇසෙන සුරූපී තරුණිය ඊට ඇළුම් කරන අතර ඇයව දකින විරූපී පුද්ගලයා ඇයට ආලය කිරීමට පටන් ගනී. මේ අතරතුර පොහොසත් මන්දිරයේ මෙහෙකාරියගේ පුත්‍ත්‍රයා හා තරුණිය අතර වන පැරණි මිතුරුකම් අළුත් වන අතර පරපීඩක කාමුකත්වයෙන් යුතු ඇයගේ ආක්‍රමණික ස්වරූපට එරෙහි නීතිඥයෙකු වන මෙහෙකාරියගේ පුත්‍රයා ඇයව දූෂණය කරනු ලබයි. සැබෑ කොටම දූෂණයක් නොවන එම සිදුවීම අවසානයේදී නීතිඥයා හා තරුණිය අතර රහස් සම්බන්ධයක් හට ගනී. මෙය සැලවන විරූපී පුද්ගලයා නිතිඥයාට වෛර කරනු ලබයි....

දිනක් විරූපී පුද්ගලයාට කතා කරන තරුණිය ඔහුව රහසින් නිවෙස තුළට ගෙන්වා ගනී. එහිදී හදිසි අනතුරකින් නිතිඥයා මියගොස් ඇතැයි පවසන තරුණිය එම සිරුර ඉවත් කිරීමට විරූපී පුද්ගලයාගේ සහාය ඉල්ලා සිටී. ඊට එකග වන විරූපී පුද්ගලයා එකී සිරුර ගඟට විසිකිරීමට යාමේදී වතුර වැටීම නිසා මියගොස් නොසිටි නීතිඥයාට සිහිය එන අතර එතනදී දෙදෙනා පොර කෑම නිසා දෙදෙනාම ගඟට වැටී මිය යති. පුරුෂාධිපත්‍යයට එරෙහිව නැගී සිටිනවායැයි කියන සුරූපී තරුණිය නීතිඥයා විසින් තමන්ව දූෂණය කළායින් පසුව මෙසේ කියනු ලබයි.

''මට තරහ ඔය ටික වෙලාවට හරි පිරිමියෙකුට යට වෙලා ඉන්න වුණ එකයි''

මෙආකාරයේ චිත්‍රපටයේ සමස්ත කතා රාමුවෙන් වියුක්තව ගත් කළ යම් යම් ස්ත්‍රීරී වාදී ලෙස ගත හැකි යම් යම් වැකි කිහිපයක් වෙතත් සමස්ත චිත්‍රපටය නියෝජනය වන දෘෂ්ඨිවාදය මීට හාත්පසින්ම වෙනස්ය.

පිරිමියා විසින් කාන්තාව යටපත් කිරීමේ ඓතිහාසික ක්‍රියාවලිය තුළ පිරිමින් තුළ කාන්තාවන් කෙරෙහි යම් භීතියක් ගොඩනගා ඇත. එයට මූලික කොටම හේතුපාදක වන්නේ කාන්තාව මායාකාරී බවත් පිරිමින් වශීකොට පිරිමියා හැසිරවීමේ ශක්තිය කාන්තාව සතුය යන දෘෂ්ඨිවාදය ගොඩනැගීමයි. කුමන බලපරාක්‍රමය තිබුණද, ශක්ති සම්පන්න වුවද, ධනයෙන් ආඪ්‍ය වුවද, නුවණින් අගතැම්පත් වුවද, එකී ඕනෑම තත්ත්වයක පිරිමියෙක් කාන්තාවකගේ මායාකාරී බවට හසුව විනාශ වීමේ ඉඩකඩක් ඇති බවයි.

විරූපී පුද්ගලයෙකු වුවද පිළිවෙළකට තමන්ගේ ජීවිතය හැඩගසාගෙන සිටි පුද්ගලයා ඒ සියල්ල අහිමිකරගනුයේ සුරූපී මායාකාරී තරුණියකගේ හමුවීමෙන් අනතුරුවය. තමන්ට හොදට පුරුදු ආහාර පාර්සලය පවා අමතක කරගන්නා ඔහු තරුණිය කෙරේ වන මතකය හේතුවෙන් තමන්ගේ නිවසේ දොර වසා යෑමට අමතක වීම නිසා එතෙක් තමන්ගේ සමීපතම සගයා වන Good Girlනම් බැල්ල නිවසින් පිටතට පැමිණ වාහනයකට හසුවීම නිසා මිය යයි.

විරූපී මිනිසා විසින් පිළිවෙළකට සකස් කරගෙන තිබූ පුද්ගලික ජීවිතය හා කාර්යාලීය ජීවිතය යන සියල්ල අවුල් කරනු ලබන්නේ පිටතින් පැමිණි තරුණියක විසිනි. ඇයව හමු නොවන්නට විරූපි පුද්ගලයාගේ ජීවිතය අවුල් නොවේ.

ජීවිතයේ ගොඩනගන ලද සියළු ස්ථාවරයන්, ගෞරවණීය භාවයන්, සමාජ තත්ත්වයන් සියල්ල කාන්තාවකගේ මායාකාරී බව ඉදිරිපිට අළුයම තණ අග ඇති පිණිබිදුවක් සේ වියැකී යයි.

බොහෝ වෙහෙස මහන්සිවී ජීවිතය ගොඩනගා ගත් මෙහෙකාරියගේ පුත්‍රයා වන නීතිඥයා තම ආත්ම ගෞරවය තරුණිය ඉදිරිපිට කැපකරනු ලබයි. විටෙක ඔහුට ඇදුම් බාගෙට ඇදගනිමින් නිවසින් පිට වෙයි.

කාන්තාවකගේ මායාකාරී ගින්නට හසුවන්නෙක් දැවී අළුවී යයි. තමන් විසින් ජීවිතය තුළ ගොඩනගා ගෙන ඇති සියළු දේ ගැහැණියක ඉදිරිපිට විනාශවන්නට ගත වන්නේ නිමේශයකි. කාන්තාවගේ මායාකාරී බව එතරම් ප්‍රබලය. මේනිසාම විරූපිකයෙක් ලෙස වුවද ජීවිතය ගොඩ නගාගෙන සිටි තැනැත්තා මෙන්ම දුප්පත්ව සිට මහන්සියෙන් ජීවිතය ගොඩනගාගත් නීතිඥයාද තරුණියගේ මායාවට හසුව ජීවිතය විනාශ කරගනී. ඒ අතරතුර තරුණිය තමන්ගේ මීළගට හසුකරගන්නා ගොදුර එනතෙක් මග බලා සිටී.

''එකමත් එක රටක'' චිත්‍රපටයේ නිරූපිත මෙකී දෘෂ්ඨිවාදයේ පසුතලය තේරුම් ගැනීම ස්ත්‍රීරිය සම්බන්ධයෙන් වන කතිකාවට අතිශය දේශපාලනික ලෙස වැදගත්ය.

කාන්තාව මායාකාරියක ලෙස අර්ථදැක්වූ විට එතැන් සිට ඊට පිළියම් යෙදිය යුතුය. මුළු ලෝකයම පාලනය කරන පිරිමින් තමන්ගේ අවයව මෙන්ම හැගීම් දැනීම් වල පාලනයන් හා වගකීම් පිටත සිටින කාන්තාවට පැවරීම මත කාන්තාවගේ ඇඳුම්, හැසිරීම්, ජීවන චර්යාවන් ''සදාචාරය'' නම් ඊනියා පාලනයකට යටත් කරනු ලබන්නේ කාන්තාවගේ මායාකාරී බව පූර්ව උපකල්පනයක් ලෙස ගෙනෙමින්ය. තලේබාන් පාලනය තුළ කානතාවගේ පාලනය සම්පූර්ණයෙන්ම පිරිමියාට පවරමින් තිරිසනෙකුටත් වඩා අන්ත ජීවිතයක් අත්කර දෙනුයේ කාන්තාවගේ මායාකාරී බවෙන් ලෝකය (පිරිමියා) බේරා ගැනීම සදහාමය.

දස දහස් ගණන් අන්තඃපුරයේ කාන්තාවන් පිරිවරාගත් රජවරුන් අතර සිටි රැජිණියන් ස්වල්පය අතරේ වුවද පිරිමින් කිහිපදෙනෙක් ඇසුරු කළ අනුලා බිසව ඉතිහාසයේ කාමුකම මෙන්ම නපුරු රැජිනක් වන්නෙත්, ක්ලියෝපැට්රාගේ ලිංගික ජීවිතය ගැන වෙනමම ලියවෙන්නෙත් පිරිමින් විසින් කාන්තාවට පළදනු ලැබූ මෙකී දෘෂ්ඨිවාදයේ නිරුවත හෙළි කරමිනි. ලෝක ඉතිහාසයේ කළු පැල්ලමක් ව ඇති යුරෝපය මූලික කොටගත් මායාකාරී ඝාතනයන් (Witch Hunting) සිදුවන්නේ ඉහත පැහැදිලි කළ දෘෂ්ඨිවාදයන්ගේ බල අර්ථදැක්වීම පාදක කොට ගෙනය.

''සිනානොම සෙන් දසන් දක්වා'' මෙන්ම විශාඛාවන්ගේ ස්ත්‍රී සභ්‍යත්වයන් ලාංකික සිංහල බෞද්ධ සමාජය තුලදී ආගමික ඉගැන්වීම් වලට මුවාවෙමින් ක්‍රියාත්මක කිරීමට දගලන්නේද, කාන්තාව සම්බන්ධ තලේබාන් නීතීන් හෙළ උරුමය විසින් බුදුදහමට පැළදවීමට උත්සාහ කරනුයේද, පිරිමි ශරීරය කාන්තාවගේ මායාකාරී බවට හසුවේ යැයි යන අවිඥානික භීතියෙන් යුතු දෘෂ්ඨිවාදය පාදක කොටගෙනය. ලොව මහා අවිහිංසාවාදී ආගමික ශාස්තෘවරයානන් වූ බුදුරජාණන් වහන්සේ විසින් සංඝ ශාසනය තුළ පිරිමි භික්ෂූන් හට භික්ෂූනීන්ගේ පාලනය හිමිකර දී භික්ෂුණිය දෙවන පාන්තික මනුෂ්‍යයෙකු කිරීම තුළින්ම කාන්තාවට එරෙහි පුරුෂ හිංසනය, යටපත් කිරීම කොතෙක් ව්‍යුහගතද යන්න තේරුම්ගත හැක. (භික්ෂුණීන්ට පනවා ඇති අෂ්ඨ ගරු ධර්ම)
මේ අනුව ලිංගික කාර්යයන්හිදී පිරිමියාට යටව සිටිනවාට වඩා ඉහළ මධ්‍යම පාන්තික NGO පුරුෂාධිපත්‍ය තර්ක වලට වඩා සමාජය තුළ ව්යහමය වශයෙන් ස්ථාපිත වූ ස්ත්‍රී හිංසනයන් ගොඩනැගී ඇත.

''එකමත් එක රටෙක'' තුළින් සිදු කරනුයේ ස්ත්‍රිය යටපත් කිරීමට පිරිමියා විසින් ඓතිහාසිකව ගොඩනගන ලද මෙකී දෘෂ්ඨිවාදය තව තවත් ස්ථාපිත කිරීම පමණි.
 
  Sanka Kirindiwela

No comments:

Post a Comment