| ලංකාවේ අන්තර්ජාල තහනම- අත්‍යාවශ්‍ය කියවීමක් | ||||
| ||||
| රජයේ ප්‍රබලතම ආයුධය අන්තර්ජාලය සම්බන්ධයෙන් එ ආකාරයෙන් යොදාගන්නා විට, යුධ විරෝධි හා ආණ්ඩු විරෝධී මතවාදයක් නියෝජනය කළ "ලංකානිව්ස් වෙබ්" [www.lankanewsweb.com] වෙබ් අඩවියට පිවිසීමද රාජ්‍ය බලපෑම මත අවහිර වුණි. පසුගිය සතියේ රජයේ නිල ප්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කොට තිබුණේ ලංකාවේ වැඩිහිටියන්ට පමණක් සීමාවූ අසභ්‍ය වෙබ් අඩවි 120කට පමණ පිවිසීම අවහිර කරන ලද බවයි.[news.lk]. මීට පෙර දේශීය අසභ්‍ය යැයි පැවසෙන වෙබ් අඩවි ගණනාවක් රජය විසින් අවහිර කරන ලද්දේ එහි වන අන්තර්ගතයන් තුළ දේශීය පුද්ගලයින් සිටින නිසාත්, එමඟින් දේශීය සංස්කෘතියට සිදුවන හානියත් රටට සිදුවන අගෞරවය නිසා බවත් පවසමිනි.[lankapuvath.lk] මේ අතර ලෝකයේ ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆෙස් බුක් [facebook.com] වලට එරෙහිව විවිධ පාර්ශවයන් විසින් සිදුකළ පැමිණිලි නිසා ලංකාව තුළ එහි පැවැත්ම පිළිබඳවද සැකයන් හටගෙන තිබේ. [dailymirror.lk] රජයෙන් පාලනය වන කොළඹ කෙන්ද්‍රගත ජනප්‍රිය පාසැල් ගණනාවකම අභ්‍යන්තර නීතියක් ලෙස ෆේස් බුක් වෙබ් අඩවියේ සාමාජිකත්වය ගැනීම මේ වන තහනම් කර ඇති බවටද තොරතුරු ඇත. කාන්තා පාසැල් වල මෙය වඩාත් සුලබ වේ. යුද්ධය පැවති සමයේදී "ජාතික ආරක්ෂාව" "ස්වෛරීබව" යනාදී යුධ සන්දර්භය තුළ වැඩිපුර භාවිතා වූ සංකල්ප හේතු ලෙස දක්වමින් නිල හා නිල නොවන ලෙස අන්තර්ජාල වෙබ් අඩවි වාරණය රජය විසින් සාධාරණය කළද, සන්දර්භය වෙනස් වෙමින් පවතින නිසා "අන්තර්ජාල තහනම" මේ වන විට ක්‍රියාත්මක වන්නේ සදාචාරවාදී දෘෂ්ඨිකෝණයකින්ය. අසභ්‍ය වෙබ් අඩවි තහනම එක් පසෙකින් වන විට සමාජ ජාල අඩවි වලින් අන්තර්ජාල භාවිතා කරන්නන් නොමඟ(?) යන බවට කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ කිසිඳු විද්‍යාත්මක හේතු දැක්වීමකට වඩා මනෝ මූලික සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදය පදනම් කරගෙන වන බව ඉතා පැහැදිලිය. ගොනා හැරෙන්නේ පොල් පැලය දෙසට බව පැහැදිලිය. කරුණු දෙකක් මෙම ලියුම්කරුවාගේ මනසට පැමිණේ. 1. අන්තර්ජාලය මඟින් අශිෂ්ඨත්වයට පත් කරනවායැයි කියන ශ්‍රී ලාංකිකයින් අන්තර්ජාලයේ සම්බන්ධයක් නොමැති වටපිටාවක වුවද ශිෂ්ඨසම්පන්න පිරිසක් නොවේ. 2. සදාචාරවාදී ප්‍රවේශයකින් අන්තර්ජාල වාරණයට පිවිසෙන බලාධිකාරය, එකී ආයුධය තමන්ගේ ප්‍රතිවාදී මත දරන්නන් විනාශ කිරීම සඳහා යොදා ගනී යැයි සැක කිරීමට සාධාරණ හේතු ඇත. මෙහි ඇති මූලිකම කාරණය සළකා බැලුවහොත්, අවම අන්තර්ජාල පිවිසීම් අවකාශ සහිත රටක් ලෙස රටේ සදාචාරය පිරිහීමට මූලික කාරණයක් ලෙස අන්තර්ජාලය කොතෙක් දුරට බලපෑ ඇත්ද යන්න ගැටලුවකි. විශේෂයෙන්ම ප්‍රධාන ධාරාවේ කතා බහට ගැනෙන සාමාන්‍ය මධ්‍යම පාන්තික ජීවිතයේ ගුණාත්මක බව පිරිහීමට ප්‍රධාන හේතුව අන්තර්ජාලය බව ප්‍රකාශ වීම විහිළුසහගත ප්‍රකාශයකි. රටේ සම්පත් හා ඉපැයුම් සමාජයේ අසාධාරණ ලෙස බෙදී යාම, පවතින අධ්‍යාපන ක්‍රමයේ, දේශපාලන හා පරිපාලන ක්‍රමයේ බිඳවැටීම, ක්‍රීඩා හා විනෝදාස්වාදය පිළිබඳව ක්‍රමික වැඩපිළිවෙලක් නොමැති නිසා එය පාලනයෙන් තොරවීම, තරඟාකාරී ආර්ථික ක්‍රියාදාමයක් තුළ මානව ජීවිතයේ විවිධ පැතිකඩයන් අවහිර වීම, සාම්ප්‍රදායික සමාජයේ තිබූ යාන්ත්‍රණ සඳහා විකල්ප යාන්ත්‍රණ ව්‍යූහයක් ගොඩනොනැඟීම, ජනමාධ්‍ය කිසිමාකාරයක ප්‍රමිතියකින් තොරව ක්‍රියාත්මක වීම, යටිතල පහසුකම් හා සමාජයේ පොදු පහසුකම් පිළිබඳව ප්‍රමාණවත් දායකත්යක් ලබාදීමට රජය අපොහොසත් වීමත්, පුද්ගලික අංශයේ මැදිහත් වීම පිළිබඳව ප්‍රමිතියක් හෝ පාලනයක් ලබාදීමට රජය අපොහොසත් වීමත් සමස්ත ජන සමාජයේ සදාචාර සම්පන්න නොවීම පිළිබඳ දැක්වීමට හැකි ව්‍යූහාත්මක හේතු ලැයිස්තුවට එක්විය හැකි මූලික කරුණුය. තෙවැනි ලෝකයේ රටක් ලෙස ලංකාවේ සමස්ත සමාජයේ සිදුව ඇති බිඳවැටීම කෙරෙහි අන්තර්ජාලයේ බලපෑම කෙතරම් පහළ මට්ටමක ඇති හේතුවක් ද යන්න පැහැදිලි කරගැනීමට සමාජ විද්‍යාව පිළිබඳව විශේෂඥ දැනුමක් අත්‍යාවශ්‍යම නැත. සමාජ ව්‍යූහය පිළිබඳ ඇස් ඇර බලන්නේ නම් ඒ පිළිබඳව ඕනෑතරම් උදාහරණ සොයාගැනීම අපහසු නොවේ. සමාජ වටිනාකම් බිඳවැටීම, හර පද්ධතීන් හට සමාජ පිළිගැනීමක් නොමැති වීම, මානව සංවේදීතාව අහිමි කරගත් පිරිසක් බිහිවීම, හිංසාව ප්‍රචණ්ඩත්වය බහුල වීම හරහා සමස්තයක් ලෙස සමාජය, මිනිසුන්, සත්වයින් ඇතුළු සමස්ත ලෝකය දෙසට මානුෂවාදී නොවන ආකල්ප වලින් පිරි මිනිසුන් බිහිවීමට අන්තර්ජාලය මුඛ්‍ය ලෙස දායක වන බව කිසිලෙසකින් වත් කිව නොහැක. අන්තර්ජාලයට ඇති ප්‍රබලතම චෝදනාව වන්නේ එමඟින් වැඩිහිටියන්ට පමණක් සුදුසු අසභ්‍ය දෑ ළමුන් නැරඹීමට හැකි වන බවය. එය ව්‍යූහාත්මකව, සංකීර්ණ ආකාරයෙන් ළමුන්ට බලපාන දෙයක් නොවේ. එසේ වුවද අන්තර්ජාලය පිළිබඳව සැළකීමේදී ළමා අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන් ඊට දැක්විය හැකි දායකත්වය මෙතෙක් තරම් යැයි කිව නොහැක. නොදියුණු තාක්ෂණය, විධික්‍රම භාවිතා කරන ලංකාව වැනි රටවලට ලෝකය විවෘත කරගැනීම වෙනුවෙන් අන්තර්ජාලය භාවිතා කළ හැකිය. සැබැවින්ම ගැටළුව ඇත්තේ අන්තර්ජාල මාධ්‍ය තුළ නොව එය නරක අයුරින් භාවිතා කරන්නට යොමුවන පිරිස තුළය. ඕනෑම දෙයක් හොඳට හෝ නරකට භාවිතා කිරීම අවසාන වශයෙන් එය භාවිතා කරන්නාට සාපෙක්ෂ වන අතරම සාර්ථකව, සාධනීය ආකාරයෙන් තාක්ෂණය රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගැනීමට නොහැකි වූ ලාංකිකයින් අන්තර්ජාලය හිතකර අයුරින් භාවිතා කිරීමට නොපෙළඹීම ද පුදුමයක් නොවේ. ජංගම දුරකතනය ලංකාවේ ව්‍යාප්තිය හා ඉන් ලංකාවේ නිෂ්පාදනය, ආර්ථිකයට කෙතරම් දායකත්වයක් දක්වන්නේද සැළකීම තුලින් අන්තර්ජාලයේ භාවිතාවේ අනාගතය ගැනද පූර්ව නිගමනයක් සිදුකළ හැකිය. එසේ නම් සිදුකළ යුතුව ඇත්තේ තහංචි සීමා දැමීමට වඩා එය භාවිතා කරන පිරිසගේ බුද්ධිය, අවබෝධය, ගොඩනැඟිය හැකි වඩාත් නූතන ක්‍රම භාවිතා කිරීමය. "තහනම" ක්‍රියාත්මක නොකර ඒ වෙනුවට සිදුකළ යුතු දේ ගැන පාලකයින් කොතෙක් අවබෝධ කර ගත්ත ද, "තහනම" ක්‍රියාත්මක කිරීමට ඔවුන් පෙළඹෙනුයේ ඒ හරහා වැටී ඇති වෙනත් දිශාවක් වෙත වූ මාර්ගය නිසාය. එනම් සදාචාර ප්‍රතිපත්ති වෙනුවෙන් යැයි මුවහත් කරන "තහනම" ආයුධය ඉන් මුවහත් කරගත් පසු යෙදවෙන්නේ සදාචාර දිශාවක් වෙතට නොව රාජ්‍ය බලහත්කාරය පැතිරවීම දිශාව වෙතට බව ජීවමාන උදාහරණ අවශ්‍යතරම් ඇත. අන්තර්ජාල ප්‍රකාශන නිදහස පිළිබඳ සිද්ධි පිළිබඳ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සම්පාදනය කර ඇති වාර්තාවට අනුව සදාචාරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඉදිරියට පැමිණි අන්තර්ජාල වාරණයන් ආණ්ඩුව විසින් ක්‍රමිකව සිය දේශපාලන ප්‍රතිවිරුද්ධ අදහස් මර්ධනය වෙනුවෙන් යොදාගත් ආකාරය මොනවට පැහැදිලි වේ. මුලින්ම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරන රජය, ඉන්පසු එල්ටීටීඊ හිතවාදී යැයි කියමින් උතුරේ පුවත් රැගෙන ආ වෙබ් අඩවි අවහිර කරන අතර පසුගිය ජනාධිපතිවරණයේදී ආණ්ඩුව පිළිබඳව විවේචනාත්මක ස්ථාවරයක් දැරූ ලංකානිව්ස් වෙබ් [www.lankanewsweb.com], ලංකාඊනිව්ස් [www.lankaenews.com] වැනි වෙබ් අඩවි වෙත තහනමේ ආයුධය ක්‍රමිකව ව්‍යාප්ත කරනු ලබයි. කෲරතර ඝාතකයින් රැලක් නිදැල්ලේ හැසිරෙන අතරතුර මාධ්‍ය ක්‍රියාකාරීත්වය වෙනුවෙන් විසිවසරක සිරදඬුවමක් ලැබූ මාධ්‍යවේදී ජේ.සී. තිස්සනායගම් [www.outreachsl.com] අන්තර්ජාලය මූලික කොටගෙන මාධ්‍යකරණයේ යෙදුණෙක් විය. මීට අමතරව යුද්ධය පැවති සමයේ දී අභිරහස් ලෙස ඝාතනය වූ ධර්මරත්නම් සිවරාම් නොහොත් තාරකීද අන්තර්ජාල වෙබ් අඩවි සංස්කාරකවරයෙකු විය. තිස්වසරක් පැවති ලොව දරුණුතම ගරිල්ලා සංවිධානය පරාජයට පත්කළ හමුදාවක් හා බුද්ධි අංශවලින් සමන්විත වුවද තවමත් කිසිඳු හෝඩුවාවක් සොයාගත නොහැකියැයි කියන අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අන්තර්ජාලය ආශ්‍රිතව මාධ්‍යකරණයේ නිරත වූවෙකි. එක් පසෙකින් අන්තර්ජාල වාරණය ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ත කරන විට තවත් පසෙකින් මර්දනකාරී හස්තයන්ද මේ වන විටත් ඒ වෙත එල්ල වී හමාරය. එක් පසෙකින් තොරතුරු දැනගැනීමේ හැකියාව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වන විට, තවත් පසෙකින් රාජ්‍ය මර්ධනයේ දිශාවද ඒ වෙත දැඩි ලෙස යොමු වෙමින් පවතින බවක් පෙනේ. මේ වන විට ලංකාව ජාත්‍යන්තරව වඩාත් සමීපව ගණුදෙනු කරන රටවල අන්තර්ජාල තහනම හා රාජ්‍ය මර්ධනය සුලභය භාවිතා කරනු ලබන උදාහරණ ගණනවාක් Global Voice වෙබ් අඩවිය වාර්තා කොට ඇත. මානව සන්නිවේදන ක්ෂේත්‍රයේ නිදහස සලකුණු කෙරෙන තීරණාත්මක සන්ධිස්ථානය අන්තර්ජාලයයි. ඊට එරෙහිව එසෙවෙන රාජ්‍ය මර්ධන හස්තයෙන් මඟහරවා ගැලවීමට ක්‍රම සහ විධි ගණනාවක් ඇත. ඒ ආකාරයට අන්තර්ජාල පරිහරණයේදී වඩා ආරක්ෂාකාරී වීමට ගත යුතු පියවරයන් පිළිබඳව පහත වාර්තාවන් වැදගත් තොරතුරු රාශියක් පෙන්වා දෙයි. • HANDBOOK FOR BLOGGERS AND CYBER-DISSIDENTS - REPORTERS WITHOUT BORDERS • Tor Project මීට අමතරව, තනිව හෝ කණ්ඩායම්ගතව අන්තර්ජාලය වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි මඟින් අදහස් ප්‍රකාශ කරනු ලබන පිරිස් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සාමූහික සංවිධාන කිහිපයක් ද වේ. • www.globalvoicesonline.org • advocacy.globalvoicesonline.org • www.eff.org අන්තර්ජාලය විසින් ලංකාවේ සමාජයට සිදුකරන්නාවූ බලපෑමේ ස්වභාවය ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින විට, ඒ වෙනුවෙන් එල්ලවෙන රාජ්‍ය ප්‍රතිරෝධයද ප්‍රමාණාත්මකව ඉහළ යයි. අන්තර්ජාලය ඇසුරේ මාධ්‍ය මෙහෙවරක හෝ නිදහස් අදහස් ප්‍රකාශ කරන්නෙකු ලෙස ක්‍රියාත්මක වනවා නම් තමන්ට වඩා බලවත්, ශක්තිමත් සතුරාට සැඟවී පහර දීමේ උපක්‍රමය තවදුරටත් වඩාත් යථාර්ථවාදී වන බව වැඩිදුරටත් සඳහන් කර සිටිමි. 1. Freedom of Expression and the Internet in Sri Lanka report published by Centre for Policy Alternatives, August 2010, මෙම වාර්තාව සම්පූර්ණයෙන් බාගත කිරීමට- Box.net මේ පිළිබඳ වාර්තාවක් ict4peace.wordpress.com මඟින් ලබාගත හැක. 2. බ්ලොග්කරණය, සින්ඩිකේටර භාවිතය පිළිබඳව චමිල ද අල්විස් සොයුරා විසින් ලියන ලද ලිපියක් මඟින් කියවිය හැක: theopen.chamiladealwis.com/ | ||||
| | ||||
| |
Subscribe to:
Posts (Atom)
