සිංහල බෞද්ධ සංස්කෘතියේ නිර්මලත්වය හෙවත් ඉතිහාසය කන පිට හරවා කියවීම
![]() |
| උඩුකය නොවැසීමේ සදාචාරය |
සිංහල බෞද්ධ සදාචාරය
ඉහත උදාහරනය වර්තමානයේ බලවත්ව තිබෙන සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබද අධිපති කතිකාවත තේරුම් ගැනිම සදහා පසුබිමක් සකස් කරන්නේය.අවුරුදු දෙදහස් ගනනක් තිස්සේ පැවත එන නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියක් පිලිබද අදහසට විශාල ඉතිහාසයක් ඇත.එය අඩුම තරමින් අනගාරික ධර්මපාලතුමාගේ කාලය දක්වා දිව යයි."අපේ සිංහල සංස්කෘතිය" පිලිබද මෙම කතිකාවතෙහි ලක්ෂන කිහිපයකි.
මෙම කතිකාවතට අනුව මත විනාශකාරී දෙයකි.ගැහැනු නිරුවත හෙලා දැකිය යුත්තකි.ගාලු කොටුව පෙම්වතුන්ට තහනම් කලාපයක් බවට පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී.හේතුව ලෙස බලධාරින් දැක්වූයේ එය "සදාචාරයට" නොගැලපෙන බවයි.සදාචාරය රකිනු වස් පොලිසිය තානායම් වටලයි.අනාචාරයේ හැසිරෙන අයවලුන් කුදලාගෙන යයි.ඒකභාර්යා/ඒකපුරුෂ විවාහය පරම දෙයක් ලෙස මෙම කතිකාව තුල පිලිගැනේ.විවාහයට පෙර ලිංගික සම්බන්ධතා මෙන්ම විවාහයෙන් පිට ලිංගික සම්බන්ධතාද මේ තුල තහනම් මාතෘකාවෝ වෙත්.ලිංගිකත්වය ගැන විවෘතව කතාබහ කිරීම "අපේ සංස්කෘතියේ අංගයක්" නොවන බව කියනු ලැබේ.එවැන්නක් සිනමාවට නැගිම අදාල සිනමාපටය තහනම්වීමට පවා මග පාදන හේතුවකි.
නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබද අදහස මේ වන විට හෙජමොනික් වී තිබේ.එනම් කිසිවෙකුත් අතීතයේ සිට පැවතෙන අපේ සංස්කෘතිය වනාහි මෙයයි යන්න ප්‍රශ්න කරන්නේ නැත.ඒකභාර්යා ව්‍රතය,විවාහයේ පරමත්වය,ලිංගිකත්වය ටැබුකරනය කිරීම යනාදිය සිංහල සංස්කෘතියේ පරම සංකල්පයන් බව සද්භාවයෙන් සියල්ලෝ විශ්වාස කරති.මෙම අදහස මේ වන විට දේශපාලන බලය හා ගැටගැසෙන තරමට බලගතු වී ඇත.අනගාරික ධර්මපාල,මෙත්තානන්ද,නලින් ද සිල්වා,ගුනදාස අමරසේකර වැනි මධ්‍යම පංතික බුද්ධිමතුන් විසින් වර්ධනය කල හුදු ප්‍රවාදයක් වූ මෙය බලයට පත්ව සිටින ධනපති පංතියේ ග්‍රාමීය ප්‍රභූ කුලකය අත පත්වූ කල්හි - එය නිල රාජ්‍ය මතවාදය වන තරමේ ප්‍රබලත්වයක් අත්පත් කරගෙන ඇත.
![]() |
| අනගාරික ධර්මපාල නූතන සිංහල බෞද්ධත්ව කතිකාවතේ ඇරඹුම් ලක්ෂ්‍යය |
මෙය දෙසැම්බර් 25 ජේසුස්ගේ උපන්දිනය යැයි අවංකව අදහාගෙන සිටින කතෝලිකයන්ගේ තත්වය සිහිගන්වයි.අතීතයේ පැවති පැරනි සිංහල බෞද්ධ සමාජය හා එහි සංස්කෘතිය වර්තමානයේ සිංහල සංස්කෘතිය යනුවෙන් අප පරිකල්පනය කෙරෙන දෙයට වඩා හාත්පසින්ම වෙනස් වූද,පරස්පර වූද එකකි.
(අතීත සමාජය සිංහල බෞද්ධ සමාජයක් ලෙස නාමකරනය කරන්නේද වර්තමානයේ ජීවත්වන අපය.නොක්ස්ගේ පොත වැනි ඓතිහාසික සාක්ෂි විමසූ විට පෙනී යන්නේ අප සිංහලුන්ය.මේ දේශය බොදුනුවන්ගේ රටය වැනි සවිඥානිකත්වයක් බරපතල අර්ථයෙන් පොදුජනයා අතර නොපැවති බවයි)
ඇත්ත වශයෙන්ම අපගේ සදාචාරයේ අංගයන් ලෙස අද වන විට වර නැගෙන්නේ අතීත සිංහල සමාජයේ සදාචාරමය වටිනාකම් නොව බටහිර ක්‍රිස්තියානි සමාජවල පැවති වටිනාකම්ය.එනම් අප "අපේ දෙයක්" යනුවෙන් වැලදගෙන සිටින්නේ අතීතයේ අපේ සමාජවල පැවති දෙයක් නොව විදේශිකයන් විසින් අපගේ සමාජ මත ආරෝපනය කරන ලද වටිනාකම් සමූහයකි.
අවිවාහජ දරුවන් හා දික්කසාදය
මෙම තත්වය තේරුම් ගැනීම සදහා ඇති විචිත්‍ර අධ්‍යයන කලාපයකි ලංකාවේ නීතික්‍රම වල සංයුතිය.වර්තමාන ලංකාවේ නීති පද්ධතිය ප්‍රධාන වශයෙන් රෝම ලන්දේසි නීතියෙන් හා ඉංග්‍රීසි නීතියෙන් ආභාෂය ලබා තිබේ.මේවා යටත්විජිතවාදීන්ගේ නීතිය.ඕනෑම සමාජයක නීතියක් එම සමාජයේ ඇති සදාචාරමය වටිනාකම් වල හරය ප්‍රතිබිම්භනය කරයි.මධ්‍යකාලීන යුරෝපා සමාජ දැඩි ලෙස ක්‍රිස්තියානි ආගමික සම්ප්‍රදායෙන් ශික්ෂනය වූවකි.ක්‍රිස්තියානිය විවාහය පරම දෙයක් ලෙස පිලිගනී.දෙවියන් වහන්සේ විසින් යුවලක් එකතු කරන්නේ යලි වෙන්කිරීමට නොවේ යන පදනම මත දික්කසාදය කෙරෙහි කිතුසමය දක්වන්නේ අනුකම්පා විරහිත ආකල්පයකි.විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් එම සම්ප්‍රදාය තුල දැඩි ලෙස හෙලා දැකේ.මෙම ක්‍රිස්තියානි ආකල්පය මධ්‍යකාලීන ඉංග්‍රීසි නීතිය හා රෝම ලන්දේසි නීතිය සංවිධානය වීමේදී විශාල බලපෑමක් එල්ල කලේය.
ලංකාවේ සාමාන්‍ය නීතිය රෝම ලන්දේසි නීතියේ හා ඉංග්‍රීසි නීතියේ බලපෑම මත සකස් වී තිබේ. මේ අනුව විවාහයෙන් පිට දරුවන් කෙරෙහි ( අවිවාහජ දරුවන් ) ලංකාවේ නීතිය දක්වන්නේ එක්තරා ආකාරයක නොසැලකිල්ලකි.විවාහයෙන් පිට දරුවෙක්ට පියාගේ දේපල වලට උරුමකම් කිව නොහැක.නඩත්තු ඉල්ලා සිටිය නොහැක.සාමාන්‍ය දරුවෙක්ට හිමිවන ඉහත කී අන්දමේ අයිතිවාසිකම් ගනනාවකින් අවිවාහජ දරුවන් ඉවත් කර තිබේ.මෙම ප්‍රතිපාදනය විවාහය පරම ලෙස සලකන,විවාහයෙන් පිට සබදතා අසංස්කෘතික ලෙස සලකන ක්‍රිස්තියානි තර්කනය තුලින් රෝම ලන්දේසි නීතිය තුලට පිවිසුන එකකි.
දික්කසාදය සම්බන්ධයෙන් ද ඉංග්‍රීසි නීතිය දරන්නේ දැඩි ආකල්පයකි.ඒ අනුව දික්කසාදයක් ගත හැකි වනුයේ අධිකරනමය විභාගයකින් පසුව පමනි.විවාහයක් කඩාකප්පල් වීම නිසා දෙපාර්ශවය ස්වේච්ඡාවෙන් වෙන්වීම ගැන අදහස රෝම ලන්දේසි නිතියද පිලි නොගනී.අනාචාරය හෝ ද්වේශ සහගත හැර යාම යන කරුනු දෙක උඩ පමනක් එම නීතිය තුල දික්කසාද වීමට ඉඩ ලබා දුන් අතර දික්කසාදයට පෙර යම් පාර්ශවයක වැරැද්ද උසාවියක් ඉදිරියේ ඔප්පු කිරීම අත්‍යවශය කරුනක් ලෙස ඒ තුල සැලකේ.මෙම නීති දෙකින් ආභාසය ලත් ලංකාවේ නීතියට අනුව අනාචාරය,ද්වේශ සහගත හැරයාම හා විවාහ වන අවස්ථාවේ තිබෙන සුව කල නොහැකි ලිංගික බෙලහීනතාවය නමැති සීමිත අවස්ථා තුන මත පමනක් දික්කසාද වීමට යුවලකට ඉඩ දෙනු ලැබේ.
![]() |
| ඒකභාර්යා/පුරුෂ ව්‍රතය සිංහල බෞද්ධ ද? |
මේ පිලිබද අවබෝධයක් වර්තමානයේ සීමිත මට්ටමකින් ඉතිරි වී තිබෙන උඩරට නීතිය හැදෑරීමේදී ලබා ගත හැක.උඩරට නීතිය ( තේසවලාමෛ නීතිය මෙන් ) ලංකාව තුල උප නීතියක් ලෙස පිලිගැනේ.එනම් උඩරට සිංහල ජනයාට යම් යම් විශේෂිත කරුනු වලදී පමනක් අදාල වෙන උප නීති ක්‍රමයක් ලෙස එය ක්‍රියාත්මක වේ.උඩරට නීතිය යනු ඉංග්‍රීසින් උඩරට යටත් කරගැනීමට පෙර උඩරට පලාත් වල පැවති පාරම්පරික නිතියයි.සිංහල නිතියක් ලෙස පිරිසිදු අර්ථයෙන් සැලකිය හැක්කේ උඩරට නීතිය පමනකි යන්න එල්.ජේ.එම්.කුරේ වැනි ශාස්ත්‍රඥයන් දක්වා තිබෙන අදහසකි.
සිංහල සදාචාරය තුල උඩරට නීතිය
දික්කසාදය කෙරෙහි උඩරට නීතිය දක්වන ආකල්පය කවරක්ද?රෝම ලන්දේසි හා ඉංග්‍රීසි නීතියට වෙනස්ව උඩරට නීතිය යම් යුවලකට හුදෙක් එකිනෙකාගේ කැමැත්ත මත (mutual consent) දික්කසාද වීමට තිබෙන ඉඩ පිලිගනී.එනම් එකට විසීමට දෙදෙනා අකමැති නම්,නඩු පවරමින් විවිධ පූර්ව අවශ්‍යතා ඔප්පු කිරීමට වෙහෙසීම අවශ්‍ය නොවේ.සරලවම වෙන්වී යා හැක.මෙය පැහැදිලිවම විවාහය කෙරෙහි දක්වන ලිහිල් නිදහස්කාමී ආකල්පයකි.එවැනි දික්කසාදයකට අධිකරනමය ක්‍රියාවලියක් අනවශ්‍ය අතර රෙජිස්ට්‍රාර්වරයෙකු ඉදිරියේ දික්කසාදය ප්‍රකාශ කිරීම පමනක් ප්‍රමානවත්ය.
අනෙත් අතට යුරෝපා නීතින්ට වෙනස්ව උඩරට නිතිය අවිවාහජ දරුවෙක්ට (විවාහයෙන් පිට සබදතාවක් නිසා උපදින දරුවෙක්ට ) පියාගේ දේපල උරුමය පිලිබද යම් යම් අයිතිවාසිකම් පිරිනමා තිබේ.විවාහයෙන් පිට උපදින දරුවෙක්ටත් විවාහය තුල සිටින දරුවන්ට වාගේම ඇතැම් අයිතීන් තිබේ යන්න පිලිගැනීම හරහා උඩරට නීතිය විවාහය නම් සංස්ථාව එතරම් පරම දෙයක් ලෙස සලකා නොමැත යන නිගමනයට ඒම අසීරු නොවේ.
මේ අනුව පැහැදිලි වන්නේ ක්‍රිස්තියානි ආභාෂය ඇති විදේශ නීති ක්‍රම විවාහය පරමත්වයට නංවද්දී පිරිසිදු සිංහල නීතිය වන උඩරට නීතිය විවාහය වැනි නිල සබදතා එතරම් බැරෑරුම්ව සලකා නොමැති බවයි.නමුත් අද අප අපේ සිංහල සංස්කෘතිය යනුවෙන් පිලිගන්නේ විවාහය කෙරෙහි කොන්සර්වැටිව් ආකල්පයක් දරන ක්‍රිස්තියානි ආකල්පයද,නැත්නම් ඒ කෙරෙහි ඉතාම නිදහස්කාමී ආකල්පයක් දැරූ පැරනි සිංහල සමාජයේ ආකල්පයද යන්න සැලකීම මෙහිදී විනෝදජනක අභ්‍යාසයකි.අප "අපේ දෙය" ලෙස වැලදගෙන තිබෙන්නේ ඇත්තටම "අපේ දෙය" නොව විදේශික අනෙකකි!
ඒක භාර්යා ඒක පුරුෂ ව්‍රතය පිරිසිදු සිංහල සංස්කෘතියේ අංගයක් නොවේ.එය ක්‍රිස්තියානි දායාදයකි.ලිංගික සබදතා කෙරෙහි දැඩි නිල ආකල්පයක් දැරීම පැරනි සිංහල සමාජවල ලක්ෂනයක් නොවේ.එය යටත්විජිතවාදය විසින් ආරෝපනය කල වටිනාකමකි.ගැහැනුන් ඇග වසා ඇදුම් හැදීම පැරනි සිංහල සංස්කෘතියේ අංගයක් නොවේ.ඊට වෙනස්ව නිරුවත කෙරෙහි එම සමාජ දැක්වූ ආකල්පය අතිශය විවෘතය.නිරුවත වාරනය කිරීමද වික්ටෝරියානු දායාදයකි.
ගංගොඩවිල සෝම හිමි වරෙක කාලයකට ඉහත පලවූ පාරාදීසිය නම් සගරාව දරුනු ලෙස විවේචනය කලේ ගැහැනු නිරුවත අන්තර්ගත එවැනි ප්‍රකාශන සිංහල සභ්‍යත්වයට දැඩිලෙස හානිකර බව පවසමිනි.එම හිමියන් එවැනි දැඩි සදාචාරවාදී පෙනී සිටීමක් කරද්දී තමන් සිංහල සභ්‍යත්වය යනුවෙන් පරිකල්පනය කරගෙන සිටිනුයේ ඇත්ත වශයෙන්ම සිංහල සභ්‍යත්වය නොව බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයයි යන්න දැන නොසිටීම අතිශය උත්ප්‍රාසවත්ය.
බලය විසින් ඉතිහාසය අර්ථකතනය කිරිමේදී සිදුව තිබෙන මෙවැනි විකෘතිවීම් හැදෑරීම ඉතාම රසවත් අත්දැකීමක් වන්නේය.ස්වකීය දේශපාලන බලය රැකගනු වස් කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා දෙසැම්බර් 25 ජේසුගේ උපන් දිනයයි යනුවෙන් කල විකෘතිය අද වන විට ලක්ෂ ගනන් ක්‍රිස්තියානි ජනයා පරම සද්භාවයෙන් අදහන උත්කෘෂ්ට ඇදහීමක් බවට පත් ඇත්තේ යම් සේද,අනන්‍යතා අර්බුදයකින් පෙලුන මධ්‍යම පංතික චින්තකයන් සමූහයක් පාරම්පරික සිංහල බෞද්ධ සංස්කෘතිය වනාහි මෙයයි යනුවෙන් විකෘති ලෙස අර්ථනිරූපනය කල වටිනාකම් සමුදායක් සැබැවින්ම සිංහල සංස්කෘතිය යැයි අදහමින් ලක්ෂ ගනන් සිංහලයෝ අද වන විට සංස්කෘතිය සුරැකීමේ රාජ්‍ය මතවාදය වන්දනාමාන කරමින් සිටිති.



No comments:
Post a Comment