යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වෙනුවට බුදුන්ගේ සාක්ෂිකරුවෝ / Buddha's Witnesses instead of Jehova's Witnesses
![]() |
| උපතින් කතෝලිකයෙකු වූ උන්වහන්සේගේ පියා අත්විදි ප්‍රාතිහාර්යයක් සියල්ල වෙනස් කිරිමට හේතු වූයේය |
"අපෙන් ගිලිහුනු ඒ සුන්දර රජදහනේ කිරීටය අපි නැවතත් පැලදිය යුතුයි.ඒ සෙනෙහසේ රජදහනේ පවුරු පදනම් අපි ශක්තිමත් කල යුතුයි.හෙල දේශයේ ඒ සොදුරු මනුශ්‍යත්වය යලි රජයා යුතුයි.ඒක අපට කරන්න හැකි දෙයක්.අපේ ගුන දහම් පෝෂනය කරගන්න අපි කැපවෙන්න ඕන.ගල්වන් සිත් වෙනුවට මල් වන් සිත් ලබන්න අපි කැමති වෙන්න ඕන.එතකොටයි මනුශ්‍යත්වයේ සොදුරු මාවතේ අසිරිමත් අත්දැකීම් අපටත් විදින්න හැකි වෙන්නෙ"
- මහාමේඝ පුවත්පත 2010 සැප්තැම්බර් කලාපය.26 පිට
***
ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානිය සාම්ප්‍රදායික කතෝලික සංවිධාන ව්‍යුහයට එරෙහිව ගසන ලද කැරැල්ලකි.ප්‍රොතෙස්තන්ත්‍රවාදය මතු වන යුගය වන විට කතෝලික පල්ලිය යුරෝපා වැඩවම් ක්‍රමය සමග ඓන්ද්‍රීයව බැදුනු සංස්ථාවක් වූ අතර එහි සමස්ථ ධූරාවලිය වැඩවසම් ස්වභාවයක් පෙන්නුම් කලේය.ප්‍රොතෙස්තන්ත්‍රවාදය යනු එක්තරා ආකාරයකින් ධනේශ්වර යුගයට ගැලපෙන ලෙස සාම්ප්‍රදායික කතෝලික ආගම ප්‍රතිඅර්ථකතනය කිරීමක් ලෙස සැලකිය හැක.දෙවියන් වහන්සේ සහ මිනිසා අතරට අතරමැදියෙක් අනවශ්‍ය බව කී ප්‍රොතෙස්තන්ත්‍රවාදය සාම්ප්‍රදායික කතෝලික සංස්ථාව තුල පූජකවරයා සතුව තිබූ භූමිකාව රැඩිකල් වෙනස් කිරීමකට ලක්කලේය.කතෝලික පල්ලි තුල අපට මුන ගැසෙන වැඩවසම් යුගයේ ආයිත්තම් වලින් සැරසි පූජකවරු වෙනුවට මේ නිසා බොහෝ ක්‍රිස්තියානි සභා වලදි මුනගැසෙන්නේ එදිනෙදා සරල ඇදුමක් ඇද සිටින සාමාන්‍ය මිනිසුන් හා සම පෙනුමක් සහිත පාස්‍ටර්වරයෙකි.පූජකවරයාගේ භූමිකාව පිලිබද මෙම වෙනස එක් අතෙකින් එකල යුරෝපයේ නැගෙමින් තිබූ මානවවාදී අදහස් වලට නෑකමක් දක්වන අතරේම අනිත් අතට ආගමේ මුල් සාරය සොයායාමේ අවශ්‍යතාවය සන් කරන සංඥාවක් ලෙසද සැලකිය හැක.ක්‍රිස්තියානි නිකායක් වන පෙන්තකොස්ත සභාවේ දෙවියන් වහන්සේ සහ මිනිසා අතර නිර්බාධිත සබදතාවයක් ගොඩනැගීම නම් මෙම සංකල්පය ප්‍රබලව දක්නට ලැබේ.දේව ස්පර්ශය පිලිබද දැඩි විශ්වාසයෙන් ඔවුහු වෛද්‍ය ප්‍රතිකාර පවා ප්‍රතික්ෂේප කරන බව ප්‍රසිද්ධ කරුනකි.කතෝලිකයන් විසින් ගොඩනගාගෙන තිබෙන පිලිම වන්දනාවද ක්‍රිස්තියානීන් ප්‍රතික්ෂේප කරන අතර පිලිම වන්දනාව ක්‍රස්තියානීන් දකින්නේ පසුකාලීනව කතෝලිකයන් විසින් මුල් කිතුදහමට සිදුකරනු ලැබූ විකෘතියක් ලෙසිනි.මෙබදු බොහෝ කරුනු මගින් හෙලි වන දෙය නම් ක්‍රිස්තියානි ව්‍යාපෘතිය එක් අතෙකින් වැඩවසම් යුගයේ පැවති කතෝලික සංස්ථාවේ පෙනුම ධනේශ්වර යුගයට අනුරූපීව වෙනස් කරන ප්‍රතිසංස්කරනවාදී බලවේගයක් වූවා සේම දාර්ශනිකව ආගමේ මුල් සාරය සොයා යන එක්තරා ආකාරයක සිද්ධාන්තවාදී ස්වභාවයක් ගනු ලබන ව්‍යාපෘතියක් බවයි.21 වන සියවසේ ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානිය යනු තවදුරටත් කැල්වින්ගේ හෝ මාටින් ලූතර්ගේ ක්‍රිස්තියානිය නොවේ.එය බොහෝ සංකීර්න බෙදීම් වලට අද හසුව තිබේ.ක්‍රිස්තියානි සභා අතුරිනුත් පෙනුම අතින් වඩ වඩාත් නූතන ස්වභාවයක් උසුලන සභා විශේෂ බිහිවෙමින් තිබෙන අතර දර්ශනය අතින් පැරනි සභා අබිබවා පිරිසිදු ක්‍රිස්තියානිය වෙත ලගාවීමේ වැදගත්කම මේවා විසින් අවධාරනය කරනු ලබයි.යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යනු එබදු "නූතන" සභාවකි.
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සභාව එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ලෝක ව්‍යාප්ත ජාලයකි.එය විසින් ප්‍රකාශයට පත්කෙරෙන "පිබිදෙවු" සගරාව අතට හසුවන ඕනෑම දෙයක් කියවීමෙහි උමතු පුරුද්දකින් මෙම ලියුම්කරු පෙලුනු බාල වියේදී මෙම ලියුම්කරු ප්‍රිය කල සගරාවක් විය.මතුපිටින් ආකර්ශනීය ස්වභාවයක් උසුලන එකී ප්‍රකාශන මුල් බැල්මට ආගමික ප්‍රකාශනයක් යැයි නොසිතෙන තරම්ය.මෙම සගරා ජීවිතයේ විවිධ පැතිකඩ ස්පර්ශ කරයි.බිරින්දෑවරුන්ට යහපත් පවුල් ජීවිත ගත කරන ආකාරය ගැන,ලමුන්ට යහපත් ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරන ආකාරය ගැන ඉන් උපදෙස් සැපයේ.නිදසුනක් ලෙස ප්‍රේමය පිලිබද කතා කරන්නේ නම් නූතන යුගයේ යෞවනයන්ට උචිත වන ලෙස කතා කරන මාතෘකාව තෝරා ගනු ලැබෙන අතර ආගමික "තෙල" වදිනුයේ අවසානයේය.බොහෝ විට මෙම සගරා සමාන වනුයේ ධනාත්මක චින්තනය අලෙවි කරන ඉතා ඉහල ජනප්‍රියත්වයක් සහිත ග්‍රන්ථවලටය.එම ධනාත්මක චින්තන ග්‍රන්ථ මගිනුත් වැදිය යුතු තැනට ඊතලය විදිනු ලැබෙන අතර තරුනයන්,ගෘහනියන්,පෙම්වතුන් වැනි ඉලක්ක කන්ඩායම් වැඩියෙන්ම පෙලන ප්‍රශ්න වලට සාර්ථකව අමතා ඔවුන්ගේ අවධානය දිනා ගනු ලබයි.කතෝලික ආගමට සාපේක්ෂව සම්භාව්‍ය ක්‍රිස්තියානිය 18 වන සියවසේදී "නූතන" පෙනුමක් සහිත ආගමක් වී යැයි පවසන්නේ නම් සම්භාව්‍ය ක්‍රිස්තියානියට සාපේක්ෂව යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වැනි නව ක්‍රිස්තියානි නිකායන් 21 වන සියවසේදී වඩා නූතන පෙනුමක් අත්පත් කරගැනීමට සමත්ව තිබේ.
![]() |
| යෙහෝවාගේ සාක්ෂිකරුවෝ : ආකර්ශනීය ප්‍රකාශනයක් |
කාර්මික ධනේශ්වර යුගයේදී පැරනි බෞද්ධ සංස්ථාව ඕල්කට්-ධර්මපාල ව්‍යාපාරය මගින් ප්‍රතිසංස්කරනයට ලක්කලේ යම් සේද අද - සයිබර් යුගය වනවිට ලාංකීය බුදුදහමේ හැඩය යලිත් ප්‍රතිනිර්වචනය කරන ප්‍රවනතාවයක් මේ වනවිට තීරනාත්මක ලෙස පැන නැගෙමින් තිබේ.මෙම ලිපිය ආරම්භයේ දැක්වූ උපුටනය සහිත මහාමේඝ නම් පුවත්පත මහමෙව්නා ආයතනයේ ප්‍රකාශනයකි.කිරිබත්ගොඩ ඥානානන්ද හිමි විසින් අධිපතිත්වය දරන මහමෙව්නාව අසපුව ලංකාවේ විශාල ජනප්‍රියත්වයක් ලබමින් තිබෙන ආයතනයක් වන අතර එය මෙසේ පැනනැගෙමින් ඇති නව බෞද්ධ ප්‍රවනතාවයේ ස්වභාවය මනාව නියෝජනය කරන්නකි.
අහම්බෙන් ඇස ගැටි එම මහාමේඝ පුවත්පත කියැවූ සැනින් උත්ප්‍රාසාත්මකව මෙම ලියුම්කරුගේ මතකයට එක්වනම පිවිසියේ බාලවියේ දී කියැවූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ "පිබිදෙවු" සගරා පිලිබද ස්මරනයන්ය."අපෙන් ගිලිහුනු සුන්දර රජදහනෙහි කිරුලු පැලදීමක්" පිලිබද මහාමේඝය පවසන විට එම වචන හා "අනාගතයේ පහල වෙන්නා වූ සුන්දර වූද පවින් මිදුනා වූද ස්වර්ගරාජ්‍යයේ ප්‍රීතියෙන් ජීවත් වීම" පිලිබද යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වචන අතර තිබෙනුයේ අපූර්ව සාම්‍යත්වයකි.මහාමේඝ පුවත්පත අතිශය නූතන උත්සාහයකි.එහි ජපානය හා හිරෝෂිමාව පිලිබද විස්තර කෙරෙන විශේෂාංග ලිපි ඇත.රූපවාහිනිය බැලීමට ඇබ්බැහි වීමෙන් වැලකීම පිලිබද යෞවනයන්ට ලියැවුනු උපදේශ ලිපි ඇත.රසායනික නොවූ අපේ ගොවිතැන පිලිබද සිත්ගන්නා - බැලූ බැල්මට කිසිදු ආගමික ස්වරූපයක් රහිත - ලිපි මෙන්ම පොලොස් සීනි සම්බෝල සාදාගන්නා අන්දම ගැනද විස්තර එහි ඇත.ගතානුගතික ආගමික ස්වරූපී බුදුසරන වැනි පුවත්පතක් හා සැසදූ විට මහාමේඝ මුලුමනින්ම වෙනස් වූද පෙනුමින් නවීන වූද ප්‍රකාශනයකි.
සාම්ප්‍රදායික පන්සල වෙනුවට අසපුව නමින් ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙන සංකල්පය මෙකී නව බෞද්ධ ප්‍රවනතාවය තුල හදුනාගත හැකි සුවිශේෂ ලක්ෂනයකි.ගතානුගතික පන්සල් සංස්කෘතිය කෙරෙහි උකටලීව ආගම කෙරෙහි එතරම් උනන්දුවක් රහිතව සිටි නාගරික මධ්‍යම පංතික තරුන මහලු බොහෝ දෙනා තමන් වෙත ඇද ගැනීමට මෙකි අසපු සංචිත සමත්ව තිබෙන බව නොරහසකි.ක්‍රිස්තියානිය කෙරෙහි උකටලීව ආගමික කතිකාවතෙන් ඈත්ව සිටි නූතන බටහිර යෞවන ගනයා අතර නව ක්‍රිස්තියානි නිකායන් ලබන සාර්ථකත්වය සමග මෙය සැසදිය හැක.සාම්ප්‍රදායිකව භික්ෂුව යනු පන්සලක වැඩ වාසය කරන්නෙක් යනුවෙන් පැවති අදහස ප්‍රශ්න කිරීමට ලක්කරමින් පන්සල් වලින් බැහැරව ජීවත්වන භික්ෂූන් සමූහයක් මෙකී නව බෞද්ධ ප්‍රවනතාවය තුල හදුනා ගත හැක.ඔවුන් බොහෝ විට "ආශ්චර්යමත් ලක්ෂන" සහිත භික්ෂූන් ලෙස ගිහියන් විසින් වර්නනා කරනු ලබන අය වෙත්.පන්සල් වර්ජනය කොට ඇති මෙබදු භික්ෂූන් ගිහි නිවාස වල වැඩවාසය කරනු දැකිය හැකිය.අනෙත් අතට අසපු වල ජීවත් වන භික්ෂූහු පිඩු සිගා යාම හෝ ගිහි ගෙවල්වල දාන මානවලට යාම යනාදී සාම්ප්‍රදායික කටයුතු ප්‍රතික්ෂේප කරන අතර ගිහියන් අසපු වෙතට දානය ගෙන එනු ඇතැයි අපේක්ෂා කරති.
වරින් වර සිය දායකයන්ගේ නිවාස වල ටර්න්ස් ගනිමින් වැඩ වාසය කරන මහනුවර ප්‍රදේශයේ එක්තරා භික්ෂුවක් පිලිබද මෙම ලියුම්කරු සතුව පෞද්ගලික දැනුමක් ඇත.එම භික්ෂුව වටා පවුල් සමූහයක් - මේවා බොහෝවිට නාගරික මධ්‍යම පංතික පවුල් වෙති - ඒකරාශිව සිටී.රෝග සුවකිරීමේ හාස්කම් බලයක් එම භික්ෂුව වෙත පවතින බව එම දායකයින් විශ්වාස කරයි.මෙම දායක නිවාස වල ධර්ම වැඩසටහන් සංවිධානය වන අතර මේවා සමග ගමේ පන්සල්වලට කිසිම සම්බන්ධයක් නැත.අදාල භික්ෂුව සහ එම පවුල් වල අය අතර තිබෙන්නේ අමුතු ආකාරයක බැදිමකි.භික්ෂුව ඔවුන් බොහෝ දෙනා - දරුවන් පවා - නමින් හදුනයි.එම භික්ෂුව පවුල් සමූහයක් යා කරන වරප්‍රසාද ලත් වැඩිහිටියෙකු වැන්න.ෆේස්බුක් ප්‍රොෆයිලයක් හරහා සයිබර් අවකාශයේද වැඩවාසය කරන එම භික්ෂුව වනාහි වචනයේ නියම තේරුමින්ම සාම්ප්‍රදායික බෞද්ධ සංස්ථාවෙන් වෙනස් වූ මොඩර්න් ප්‍රපංචයකි.
| අසපු සංකල්පය සාම්ප්‍රදායික පන්සල් අබිබවා යෞවන ජනයාගේ සිත්ගෙන ඇති සෙයකි |
මේ වනවිට කුන්ඩසාල මහමෙවුනා පරිශ්‍රයේ විශාල චෛත්‍යයක් ඉදිවෙමින් තිබේ. ඥානානන්ද හිමිගේ වචන වලින් කියතොත් එය "රජුන් විසින් නොව පොදු ජනයා විසින්" තනනු ලැබෙන සෑයකි.සාම්ප්‍රදායික බෞද්ධ සංස්ථාව තුල මෙවැනි කටයුත්තක් සමග බොහෝ විට දේශපාලඥයෙකු සම්බන්ධ වීම දක්නට ලැබෙන නමුදු මහමෙවුනා සෑයෙහි මුල්ගල තැබීම අත්තිවාරම කැපීම වැනි කිසිදු වැදගත් අවස්ථාවකට එවැනි දේශපාලකයෙකු ආරාධිතයා ලෙස ගෙන්වා ගනු ලැබුනේ නැත.යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙන් කිසිදු ජාතික ගීයකට හෝ ජාතික ධජයකට ආචාර නොකිරීමේ නිර් රාජ්‍යමය ස්ථාවරයක මෙම නව බෞද්ධ ප්‍රවනතාවය පසුනොවන බව පැහැදිලි නමුත් ඉහත නිරික්ෂනය නොසලකා හැරිය හැක්කක් නොවේ.පසුගිය දිනෙක මෙම ලියුම්කරු විසින් දුටු බස්රියෙක "බුදුන් වහන්සේ ජීවමානයි" යනුවෙන් ස්ටිකරයක් අලවා තිබුනි.මහමෙවුනා පරිශ්‍රයේ පසුගියදා පැවති ශීල ව්‍යාපාරයකට සම්බන්ධ වූ මෙම ලියුම්කරුගේ සමීපතමයෙකු - ඔහු ඊට සහභාගිව තිබුනේ පලමු වතාවටය - මෙම ලියුම්කරු හා ප්‍රකාශ කර සිටියේ එහි සිදුවන සෑම දෙයක්ම වෙනස් ස්වරූපයක් ගන්නා බවත්,බුදු ගුන පවා ගායනා කරන්නේ වෙනස් ආකාරයකට බවත්,එය බොහෝ දුරට ජේසුස් වහන්සේගේ ගුන වයන ක්‍රිස්තියානි අභිචාර විධි සිහිගන්වන බවත්ය.අවශ්‍ය නම් මෙම සමානතාවන් නිසා මෙම නව ප්‍රවනතාවය යෙහෝවාවාදී බුදුදහම ලෙසද නම් කල හැක.කෙසේ වෙතත් මෙම "වෙනස්" අභිචාර විධි බෞද්ධ සමාජයේ විශාල පිරිසක් ආකර්ශනය කරගනු ලැබෙමින් තිබෙන අතර අද (17) වෙසක් පොහොය නිමිත්තෙන් කුන්ඩසාලේ මහමෙවුනා පරිශ්‍රයේ පැවැත්වෙන ශීල ව්‍යාපාරයට ලක්ෂ 2 ට ආසන්න පිරිසක් සහභාගී වනු ඇති බවට අපේක්ෂා පල කෙරේ.
![]() |
| සුනාමි මරන වූ කලී පෙර කර්මයයි.එබැවින් නොතැවෙනු! |
"... එදා මියයාමට කර්මයක් නොතිබූ ගග ඇතුලේ නිදා සිටි පිරිස අසල කඩියන් මතු වී ඔවුන්ට දෂ්ට කලා.එම නිසා ගගෙන් ගොඩට විත් ගොඩබිම් ප්‍රදේශයේ නිදාගැනීමට ඔවුන්ට සිදුවුනා.එසේම එදා මිය යෑමට කර්ම සකස් වී තිබූ ගොඩබිම් ප්‍රදේශයේ නිදාගෙන සිටි අය අතරද කඩියන් මතුවී ද්ෂ්ට කලා.එවිට ඔවුන් සිදු කලේ ගංවැල්ලට ගොස් එහි නිදා ගැනීමයි.මේ අයුරින් පින් කල අය තේරී ගොඩට ආ විටත් පවුකල පිරිස තේරී ගං වැල්ලට ගිය විටත් ගගෙහි ඉස්මත්තට විශාල වැස්සක් ඇද වැටී මහා වතුරක් පැමිනියා.ගංවැල්ලෙහි නිදා සිටි විඩූඩභ රජු ඇතුලු පාපී පිරිස් සියලු දෙනාටම එම ගංවතුරෙන් මරනය අත්වුනා"
-මහාමේඝය සැප්තැම්බර් කලාපය 2011 පි.15
සුනාමිය වැනි ස්වභාවික විපතක් නිසා මිය ගිය වුන් පෙර පවු කල අය බව ප්‍රකාශ කිරීම එක්තරා අන්දමක කාලකන්නි ප්‍රකාශයක් යැයි පැවසිය හැක.මෙබදු ප්‍රකාශ සිදුවනුයේ ආගමෙහි මූලධර්ම වෙත කෙරෙන අසීමිත නැඹුරුව මගිනි.ආගමෙහි පිරිසිදු සිද්ධාන්ත පාදාගෙන ඒ අනුව තමන් කරනුයේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් යැයි සද්භාවයෙන්ම විශ්වාස කරන්නා එබදු ප්‍රකාශයක පවතින කාලකන්නි ස්වභාවය හෝ නොහගී.පැරනි තෙස්තමේන්තුවේ එන දෙවියන්ට අකීකරු වීම නිසා යෙහෝවා විසින් ගම්මාන පිටින් විනාශ කිරීමේ ප්‍රාථමික කතන්දර සහ මෙම "බෞද්ධ" විග්‍රහයන් අතර වෙනසක් නොතිබීම උත්ප්‍රාසයකි.එසේම බුදු රජානන් වහන්සේ යමා මහ පෙලහර පෑවා සේ,විශාලා නුවර තුන් බිය දුරු කලා සේ පවතින්නේ යැයි විශ්වාස කරන ධර්ම බලයෙන් හාස්කම් පෑමට දැරෙන උත්සාහද මෙම සන්දර්භය තුල සිට වටහා ගත යුතුය.ඥානානන්ද හිමිගේ මූලිකත්වයෙන් පසුගිය වසරෙහි සිදුවූ ආන්දෝලනාත්මක සෝමාවතී සිදුවීම මෙම හාස්කම් ප්‍රවාදයෙහි ස්වභාවය මනාව විදහා පාන්නකි.නව ක්‍රිස්තියානි නිකායවාදීන් දෙවියන් වෙත ලගාවීම හා එමගින් කෙරෙන මහාපරිමාන හාස්කම් ගැන අදහන්නේ යම් සේද බුදු රැස් විහිදීම හා වසින වැසි නවතාලීම වැනි ධර්ම බලයේ හාස්කම් පිලිබද විශ්වාසය තබමින් කෙරෙන අභිචාරයන්ද ආගමේ "පිරිසිදුභාවය" වෙත ලංවීම සදහා අසීමාන්තිකව ගනු ලබන උත්සාහයන්ගේ ප්‍රතිඵලයකි.
කෙසේ වෙතත් ඉහත සියලු කරුනු සලකා බැලිමේදී ලාංකීය බුදුදහමේ දෙවන ප්‍රොතෙස්තන්ත්‍ර යුගය එලඹෙමින් තිබේද යන ප්‍රශ්නය මෙම අවස්ථාවේදී සාධාරන ලෙස නැගිය හැක.සයිබර් ධනවාදී යුගයට අනුරූපීව සාම්ප්‍රදායික සම්භාව්‍ය බෞද්ධ සංස්ථාවට පිටස්තරව නව පන්නයේ බුදු දහමක් බිහි වෙමින් තිබේ යන්න පැහැදිලි නිරීක්ෂනයකි.යෙහෝවාගේ සාක්ෂිකරුවන් වැනි නව ක්‍රිස්තු භක්තික නිකායන්ගේ බෞද්ධ අර්ධ සොහොයුරා ලෙස මෙම නව ප්‍රවනතාවය සැලකිය හැකි බව මෙම ලියුම්කරුගේ යෝජනාවයි.මෙම ප්‍රවනතාවය "ශාසනයට" කොතරම් හොදද නැද්ද යන්න පිලිබද වෙහෙසිම මෙම ලියුම්කරුගේ විෂය පථයට අදාල නොවන්නකි.එය සමාජයට කරන යම් බලපෑමක් වේ නම් ඒ පිලිබද පමනක් ලියුම්කරු උනන්දු වනු ඇත.කෙසේ වූවද ලංකාව වූ කලී සතරවරම් දෙවිවරුන්ගෙන් සමන්විත "අපේ විද්‍යාවක්" ගොඩනැගීම පිලිබද මනස්ගාත කියවමින් සිටින නලින් ද සිල්වා පන්නයේ විහිලුකාරයන් ජාතියේ න්‍යායාචාර්යවරුන්/චින්තකයන් ලෙස නම් කරගෙන ඉන්නා වර්ගයේ රටකි.ඇතැම්විට ඥානානන්ද හිමියන්ගේ යෙහෝවාවාදී නවීන බෞද්ධ ප්‍රවනතාවය එම සාමූහික මුග්ධභාවය සමග වඩාත් හොදින් පෑහෙන්නක් වීමටද ඉඩ තිබේ.


