Monday, October 17, 2011

අවසානයේ අජන්ත මෙන්ඩිස් විවාහ වූයේය


වෙලදපොලේ විකිනීමට තිබෙන විවිධ භාන්ඩ අතරින් වඩාත්ම උචිත භාන්ඩය තමන්ට හමුවූ බව සිත්වුනු කල්හි,එම භාන්ඩයේ හුවමාරු වටිනාකමෙහි සීමාව කෙරෙහි සවිඥානික වෙමින්,මිනිසුන් එකිනෙකා සමග ආදරයෙන් වෙලෙති
- ‍එරික් ෆ්‍රොම්

හලෙකු සමග ආලයක පැටලීම පැරනි රෝම සමාජවල ප්‍රභූ ස්ත්‍රියක් අරභයා තහනම් කටයුත්තක්ව පැවතුනි.යම් හෙයකින් වහල් හිමියාගේ විරෝධතාවය මධ්‍යයේ තෙවරක් වහලෙකු සමග සංසර්ගයේ යෙදී යම් නිදහස් කාන්තාවක හසුවුවහොත් අදාල ස්ත්‍රිය වහා වහල්භාවයට පැමිනවීමේ බලය එම වහල් හිමියා සතු වූයේය.පුරාන රෝම සමාජය සතුන් සමග කෙරෙන සටන්වල සටන් ශිල්පීන්(Gladiators) ලෙස බොහෝ විට වහලුන් යෙදවීමට පුරුදුව සිටියේය.හැඩි දැඩි පුරුෂයන් වූ මෙම ග්ලැඩියේටර්වරු සුකුමාල වහල් හිමි පංතියේ රෝම කාන්තාවන්ගේ ආකර්ශනය නිතැතින්ම හිමිකරගත්හ.කෙතරම් ආකර්ශනීය වුවද ඔවුහු වහලුන් වූ බැවින් එම ප්‍රභූ ස්ත්‍රීන් හා ඔවුන් අතර ගොඩනැගුනේ අනාචාරී සබදතාය.spartucus-Blood and sand නම් රූපවාහිනී වෘතාන්තය නරඹා තිබෙන අයෙකුහට ප්‍රභූ ස්ත්‍රීන් හා වහල් පුරුෂයන් අතර ඇතිවන මෙබදු අනාචාරී සබදතා නිතැතින්ම සිහියට නැංවෙනු ඇත.

ලිංගික ආදරය වනාහි ජීව විද්‍යාත්මක ප්‍රපංචයකි.පුරුෂයෙකු ස්ත්‍රියක් වෙත ආකර්ශනය වීමෙහි පදනම ජෛව විද්‍යාවේ විෂය පථයට අයත්ය.නමුත් එම ස්වභාවික වූ ජීව විද්‍යාත්මක ප්‍රපංචය සමාජ සම්බන්ධතාවයන්ගේ ප්‍රිස්මය තුලට පැමිනි කල්හි අනේක විධ රූපාකාරයන් අනුව හැඩගැසේ.ප්‍රභූ කාන්තාව හා වහල් පුරුෂයා යන කේවල පුද්ගලයන් (Individuals)ඉදිරියේ තිබෙන "ප්‍රභූ" හා "වහල්" යන විශේෂන පද ඉවත්කල විට ඒ වනාහි මූලික වශයෙන් ස්වභාවික ගැහැනියක හා පුරුෂයෙකි. ගැහැනියක සහ පුරුෂයෙකු අතර හටගන්නා ස්වභාවික වූද පිරිසිදු වූද ආකර්ශනය පංති වලට බෙදුනු පැරනි රෝම සමාජය තුල විකෘති හා  අනාචාරී සබදතාවයක් බවට පත්වූ ආකාරය ජීව විද්‍යාව තුල පිරිසිදු,පැහැදිලි විෂය වස්තුවක් වන ලිංගික ආදරය සමාජමය සන්දර්භයක් තුලට එන විට සංකීර්න හා වෙනස් හැඩයක් ගන්නා ආකාරයට නිදසුනක් වන්නේය.

2011 ජනවාරි 07 වනදා අජන්ත මෙන්ඩිස් නම් අදුරු සමැති ශ්‍රී ලාංකික තරුනයා යෝශිනි ද සිල්වා නම් විශාඛා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාව හා විවාපත් වූයේය.මොරටුවෙහි සාමාන්‍ය පවුලක උපත ලද අජන්ත මෙන්ඩිස් ඔහුගේ සමකාලීන පාසල් සගයන්ට වඩා බෙහෙවින් වාසනාවන්ත වූයේ සමාජ පිරමීඩයේ ඉහල තට්ටු වෙත ගමන් කිරීමේ දුලබ අවස්ථාව ලද හෙයිනි.ක්‍රිකට් පන්දුව අසාමාන්‍ය ශෛලියකින් මුදාහැරීමේ හැකියාව මෙන්ඩිස් වෙත වාසනාව කැදවූ කාන්දම වූයේය.තරග කිහිපයකදී කැපී පෙනෙන දස්කම් දැක්වීමත් සමග  මෙම තරුනයා එක් වරෙම සුපිරි තාරකාවක් බවට රූපාන්තරනය වූයේය.බහුජාතික සමාගම් වල වෙලද දැන්වීම් වල සිනහ වීමටත්,එවැනි සමාගම් වල සන්නාම ප්‍රවර්ධකයෙකු ලෙස ක්‍රියාකිරීමටත් හේ අවස්ථාව ලද්දේය.ක්‍රිකට් ක්‍රීඩාව සමග එකට තැබූ විට,මේවා වූ කලී ධනය උනන උල්පත් වෙති.

ආතර් සී ක්ලාක් විසින් රචිත 2001 නම් විද්‍යා ප්‍රබන්ධයේ මුල් කොටසේ පිටසක්වලින් පෘථිවියට සිලින්ඩරාකාර වස්තුවක් පැමිනීමක් පිලිබද පරිච්ඡේදයක් තිබේ.මෙම සිලින්ඩරාකාර පිටසක්වල වස්තුව ආදිකල්පික මිනිස් වානරයන් සමුහයක් පරීක්ෂනයකට භාජනය කරන අවස්ථාවක් පිලිබද විස්තරයක් එහිඑයි.එහිදී මිනිස් වානරයන් සමූහයක් අතුරින් හදයා නම් නිශ්චිත වානරයාව තෝරා ගන්නා සිලින්ඩරය හදයාට යම් යම් අභ්‍යාසයන් හා චලනයන් පුරුදු කරවයි.සෙසු වානරයෝ හදයා දෙස බලමින් හදයා අනුකරනය කිරීමට,එනම් හදයා ආදර්ශයට ගැනීමට වෙහෙස වෙති.
අජන්ත මෙන්ඩිස් යනු ධනේශ්වර සමාජය තුල තෝරාගැනීමේ දුර්ලභ වරප්‍රසාදය ලත් හදයෙකි.අපේක්ෂා විරහිතව නන්නත්තාර ජීවත ගත කරන දහස් ගනන් වෙරලබඩ වාසී තරුනයන්ට යහපත් ජීවිතයක් පිලිබද සහතිකයක් දීමට අසමත් සමාජ ක්‍රමය ඒ වෙනුවට එම දහස් ගනන අතුරින් එක් වරප්‍රසාද ලද්දෙකු තෝරාගෙන ඔහුව සුපිරි තරුවක තත්වයට ඔසවා තබයි.එවැනි විටෙක නන්නත්තාර ජීවිත ගත කරන සෙසු පීඩිතයන් කල්පනා කරන්නේ ක්‍රමය තුල තමන්ට අහිමිව තිබෙන ජීවිතය ගැන නොව අර තෝරාගනු ලැබූ වාසනාවන්තයා වෙත ක්‍රමය විසින් හිමිකරන ලද සුපිරි ජීවිතය ගැනය.ඉක්බිති ඔවුහු ස්වකීය පීඩනය (යථාර්තය) ගැන නොසිතා තෝරාගනු ලැබූ වාසනාවන්තයා "වගේ කෙනෙක් වීම" (සිහිනය) වෙනුවෙන් ජීවත් වීමට අසාර්ථක ලෙස උත්සාහ ගනිති.හදයා වගේ වීමට හදයා අනුකරනය කල ආදිකල්පික මිනිස් වානරයන් මෙන්,වාසනාවන්තයා "වගේ වීම" සදහා ඔවුහු සුපර් ස්ටාර් තරග වලට යති.රූ රැජින වීමට වලිකති.පරිභෝජනය කිරීම සදහා මේ ආකාරයට සුපිරි තරු පිලිබද සිහින නොනවත්වා නිෂ්පාදනය කර දීම මගින් ස්වකීය අකාර්යක්ෂමතාවය කෙරෙහි එල්ල විය හැකි විරෝධය ක්‍රමය විසින් ඉතා දක්ෂ ලෙස කලමනාකරනය කරගනු ලැබේ.

අජන්ත මෙන්ඩිස් යනු එසේ නිර්මානය කරන ලද තාරකාවකි.ධනයෙන් ආඩ්‍යව අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන මෙම අදුරුවන් තරුනයා පවතින ධනේශ්වර යථාර්තය තුල උත්සාහය තිබේ නම් ඕනෑම කෙනෙකුට පොරක් විය හැකි යන මිථ්‍යාව සමාජගත කරන අයිකනයක් ලෙස භාවිත වෙමින් තිබේ.

කොලඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන යෝශිනී ද සිල්වා සුපිරි ගනයේ පොලිස් ප්‍රධානියෙකුගේ දියනියකි.යම් හෙයකින් අජන්ත මෙන්ඩිස් අජන්ත මෙන්ඩිස් නම් ධනවත් ක්‍රිකට් ක්‍රීඩකයා නොවී,ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිය බොහෝ සමකාලීන සගයන් මෙන්,තවත් එක් වැල්ලේ කොල්ලෙකු පමනක් ලෙස කෙලවර වී නම් යෝශිනි ද සිල්වා ආදරය කරනු තබා අවම වශයෙන් අජන්ත මෙන්ඩිස් දෙස උනන්දුවෙන් බැලීමට තරම්වත් කරදර වනු ඇද්ද?අජන්ත මෙන්ඩිස්ගේ "සතුටුදායක" විවාහය අප ජීවත්වන සමාජය පිලිබද කනගාටුදායක හරස්කඩක් වන්නේ මේ අර්ථයෙනි.සැබෑව නම් මෙවැනි විවාහයකදී අධිනිශ්චයව තිබෙනුයේ අජන්ත මෙන්ඩිස් නම් පුද්ගලයා නොව අජන්ත මෙන්ඩිස් නම් ක්‍රිකට් ක්‍රීඩකයා වීමයි.වඩාත් ගැඹුරට ගියහොත් මෙවැනි සබදතාවයක තීරනාත්මක සාධකය වනුයේ ක්‍රිකට් ක්‍රීඩකයා නම් භූමිකාව සමග වෙලී තිබෙන සමාජ තත්වය,ධනය හා සංකේතීය බලයයි.මේ අනුව අපට ජේසුස් ක්‍රිස්තුස්ගේ කන්ද උඩ දේශනාව පහත පරිදි සංශෝධනය කල හැක.

වත්කමින් දිලිදු නොවන්නෝ භාග්‍යවන්තයෝය.මන්ද යත් ඔවුහු රූමත් ගැහැනුන් ලැබීමට සුදුස්සන් වන හෙයිනි.

සැබැවින්ම අප ජීවත්වන සමාජය තුල ලිංගික ආදරයේ හැඩය තීරනය කෙරෙනුයේ හුදෙක් ස්වභාවික ලිංගික ආකර්ශනය විසින් නොවේ.ධනේශ්වර යථාර්තයක් තුල සමාජයේ පාංතික ස්ථාවරත්වය,වත්කම හා ආර්ථික හැකියාව යන කරුනු විසින් ආදරය යනු කුමක්දැයි අර්ථනිරූපනය කරනු ලබන්නේය.ලිංගික ආලය නම් ස්වභාවික ප්‍රපංචය රෝම වහල් සමාජ තුල විකෘතියක් හා විභ්‍රමයක් බවට පත්වූයේ යම් සේද,එය නූතන ධනවාදී සමාජ වල ,වෙනත් ආකාරයකින් වුවද, නැවතත් විකෘතියක් ලෙස විරූපී ආකාරයකින් ප්‍රකාශයට පත්ව තිබේ.  ‍

සිංහල බෞද්ධ සංස්කෘතියේ නිර්මලත්වය හෙවත් ඉතිහාසය කන පිට හරවා කියවීම

උඩුකය නොවැසීමේ සදාචාරය
දෙසැම්බර් 25 යනු ජේසුස් ක්‍රිස්තුස්ගේ උපන් දිනය නොවේ.එබව බොහෝ ක්‍රිස්තියානින් දනීද යන්න සැක සහිතය.රෝම අධිරාජ්‍යවරු ක්‍රිස්තියානිය වැලදගත් අලුත එම ලබ්ධිය රෝම සමාජය තුල ස්ථාපිත කිරීමේ අභියෝගයකට මුහුන දුන්හ.රෝම සමාජය පුරුදු වී උන්නේ බහුදේවවාදයටයි.ඒ මත සාදාගත් විවිධ උත්සව එම සමාජයේ විය.මේ සදහා අධිරාජ්‍යවරු යෙදූ උපක්‍රමය වූයේ ඒ ඒ මාසයේ පැවැත්වෙන උත්සවයට ක්‍රිස්තියානි අර්ථකතනයක් දීමයි.දෙසැම්බර් මාසයේ ආගමික උත්සව පැවැත්වීමට රෝම සමාජය පුරුදු ව සිටි අතර දෙසැම්බර් 25 ජේසුස් ගේ උපන් දිනය ලෙස නම් කිරීමෙන් සමාජයේ පැවති ඇදහිල්ල සමග ක්‍රිස්තියානිය සාර්ථකව බද්ධ කිරීමට අධිරාජ්‍යවරු සමත් වූහ.සියවස් ගනනාවක් ගතවී අද වන විට දෙසැම්බර් 25 ජේසුස්ගේ උපන් දිනය බව ලොව පුරා ලක්ෂ ගනන් ක්‍රිස්තියානිහු සද්භාවයෙන් විශ්වාස කරති.තමන් සද්භාවයෙන් අදහන්නේ ඉතිහාසයේ එක්තරා කාලයක දේශපාලන බල ව්‍යාපෘතියක් මත සිදු කෙරුනු විකෘති අර්ථනිරූපනයක් බව මේ කිසිවෙක් නොදනිති.

සිංහල බෞද්ධ සදාචාරය 

ඉහත උදාහරනය වර්තමානයේ බලවත්ව තිබෙන සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබද අධිපති කතිකාවත ‍තේරුම් ගැනිම සදහා පසුබිමක් සකස් කරන්නේය.අවුරුදු දෙදහස් ගනනක් තිස්සේ පැවත එන නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියක් පිලිබද අදහසට විශාල ඉතිහාසයක් ඇත.එය අඩුම තරමින් අනගාරික ධර්මපාලතුමාගේ කාලය දක්වා දිව යයි."අපේ සිංහල සංස්කෘතිය" පිලිබද මෙම කතිකාවතෙහි ලක්ෂන කිහිපයකි.
මෙම කතිකාවතට අනුව මත විනාශකාරී දෙයකි.ගැහැනු නිරුවත හෙලා දැකිය යුත්තකි.ගාලු කොටුව පෙම්වතුන්ට තහනම් කලාපයක් බවට පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී.හේතුව ලෙස බලධාරින් දැක්වූයේ එය "සදාචාරයට" ‍නොගැලපෙන බවයි.සදාචාරය රකිනු වස් පොලිසිය තානායම් වටලයි.අනාචාරයේ හැසිරෙන අයවලුන් කුදලාගෙන යයි.ඒකභාර්යා/ඒකපුරුෂ විවාහය පරම දෙයක් ලෙස මෙම කතිකාව තුල පිලිගැනේ.විවාහයට පෙර ලිංගික සම්බන්ධතා මෙන්ම විවාහයෙන් පිට ලිංගික සම්බන්ධතාද මේ තුල තහනම් මාතෘකාවෝ වෙත්.ලිංගිකත්වය ගැන විවෘතව කතාබහ කිරීම "අපේ සංස්කෘතියේ අංගයක්" නොවන බව කියනු ලැබේ.එවැන්නක් සිනමාවට නැගිම අදාල සිනමාපටය තහනම්වීමට පවා මග පාදන හේතුවකි.

නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබද අදහස මේ වන විට හෙජමොනික් වී තිබේ.එනම් කිසිවෙකුත් අතීතයේ සිට පැවතෙන අපේ සංස්කෘතිය වනාහි මෙයයි යන්න ප්‍රශ්න කරන්නේ නැත.ඒකභාර්යා ව්‍රතය,විවාහයේ පරමත්වය,ලිංගිකත්වය ටැබුකරනය කිරීම යනාදිය සිංහල සංස්කෘතියේ පරම සංකල්පයන් බව සද්භාවයෙන් සියල්ලෝ විශ්වාස කරති.මෙම අදහස මේ වන විට දේශපාලන බලය හා ගැටගැසෙන තරමට බලගතු වී ඇත.අනගාරික ධර්මපාල,මෙත්තානන්ද,නලින් ද සිල්වා,ගුනදාස අමරසේකර වැනි මධ්‍යම පංතික බුද්ධිමතුන් විසින් වර්ධනය කල හුදු ප්‍රවාදයක් වූ මෙය බලයට පත්ව සිටින ධනපති පංතියේ ග්‍රාමීය ප්‍රභූ කුලකය අත පත්වූ කල්හි - එය නිල රාජ්‍ය මතවාදය වන තරමේ ප්‍රබලත්වයක් අත්පත් කරගෙන ඇත.

අනගාරික ධර්මපාල
නූතන සිංහල බෞද්ධත්ව කතිකාවතේ ඇරඹුම් ලක්ෂ්‍යය
නමුත් ඇත්තටම අතීතයේ සිට පැවතෙන ශ්‍රේෂ්ඨ සංස්කෘතිය යැයි අප විශ්වාස කරගෙන සිටින දේ අතීතයේ සිට පැවතෙන්නක්මද?
මෙය දෙසැම්බර් 25 ජේසුස්ගේ උපන්දිනය යැයි අවංකව අදහාගෙන සිටින කතෝලිකයන්ගේ තත්වය සිහිගන්වයි.අතීතයේ පැවති පැරනි සිංහල බෞද්ධ සමාජය හා එහි සංස්කෘතිය වර්තමානයේ සිංහල සංස්කෘතිය යනුවෙන් අප පරිකල්පනය කෙරෙන දෙයට වඩා හාත්පසින්ම වෙනස් වූද,පරස්පර වූද එකකි.
 (අතීත සමාජය සිංහල බෞද්ධ සමාජයක් ලෙස නාමකරනය කරන්නේද වර්තමානයේ ජීවත්වන අපය.නොක්ස්ගේ පොත වැනි ඓතිහාසික සාක්ෂි විමසූ විට පෙනී යන්නේ අප සිංහලුන්ය.මේ දේශය බොදුනුවන්ගේ රටය වැනි සවිඥානිකත්වයක් බරපතල අර්ථයෙන් පොදුජනයා අතර නොපැවති බවයි)
ඇත්ත වශයෙන්ම අපගේ සදාචාරයේ අංගයන් ලෙස අද වන විට වර නැගෙන්නේ අතීත සිංහල සමාජයේ සදාචාරමය වටිනාකම් නොව බටහිර ක්‍රිස්තියානි සමාජවල පැවති වටිනාකම්ය.එනම් අප "අපේ දෙයක්" යනුවෙන් වැලදගෙන සිටින්නේ අතීතයේ අපේ සමාජවල පැවති දෙයක් නොව විදේශිකයන් විසින් අපගේ සමාජ මත ආරෝපනය කරන ලද වටිනාකම් සමූහයකි.


අවිවාහජ දරුවන් හා දික්කසාදය

මෙම තත්වය තේරුම් ගැනීම සදහා ඇති විචිත්‍ර අධ්‍යයන කලාපයකි ලංකාවේ නීතික්‍රම වල සංයුතිය.වර්තමාන ලංකාවේ නීති පද්ධතිය ප්‍රධාන වශයෙන් රෝම ලන්දේසි නීතියෙන් හා ඉංග්‍රීසි නීතියෙන් ආභාෂය ලබා තිබේ.මේවා යටත්විජිතවාදීන්ගේ නීතිය.ඕනෑම සමාජයක නීතියක් එම සමාජයේ ඇති සදාචාරමය වටිනාකම් වල හරය ප්‍රතිබිම්භනය කරයි.මධ්‍යකාලීන යුරෝපා සමාජ දැඩි ලෙස ක්‍රිස්තියානි ආගමික සම්ප්‍රදායෙන් ශික්ෂනය වූවකි.ක්‍රිස්තියානිය විවාහය පරම දෙයක් ලෙස පිලිගනී.දෙවියන් වහන්සේ විසින් යුවලක් එකතු කරන්නේ යලි වෙන්කිරීමට නොවේ යන පදනම මත දික්කසාදය කෙරෙහි කිතුසමය දක්වන්නේ අනුකම්පා විරහිත ආකල්පයකි.විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් එම සම්ප්‍රදාය තුල දැඩි ලෙස හෙලා දැකේ.මෙම ක්‍රිස්තියානි ආකල්පය මධ්‍යකාලීන ඉංග්‍රීසි නීතිය හා රෝම ලන්දේසි නීතිය සංවිධානය වීමේදී විශාල බලපෑමක් එල්ල කලේය.

ලංකාවේ සාමාන්‍ය නීතිය රෝම ලන්දේසි නීතියේ හා ඉංග්‍රීසි නීතියේ බලපෑම මත සකස් වී තිබේ. මේ අනුව විවාහයෙන් පිට දරුවන් කෙරෙහි ( අවිවාහජ දරුවන් ) ලංකාවේ නීතිය දක්වන්නේ එක්තරා ආකාරයක නොසැලකිල්ලකි.විවාහයෙන් පිට දරුවෙක්ට පියාගේ දේපල වලට උරුමකම් කිව නොහැක.නඩත්තු ඉල්ලා සිටිය නොහැක.සාමාන්‍ය දරුවෙක්ට හිමිවන ඉහත කී අන්දමේ අයිතිවාසිකම් ගනනාවකින් අවිවාහජ දරුවන් ඉවත් කර තිබේ.මෙම ප්‍රතිපාදනය විවාහය පරම ලෙස සලකන,විවාහයෙන් පිට සබදතා අසංස්කෘතික ලෙස සලකන ක්‍රිස්තියානි තර්කනය තුලින් රෝම ලන්දේසි නීතිය තුලට පිවිසුන එකකි.
දික්කසාදය සම්බන්ධයෙන් ද ඉංග්‍රීසි නීතිය දරන්නේ දැඩි ආකල්පයකි.ඒ අනුව දික්කසාදයක් ගත හැකි වනුයේ අධිකරනමය විභාගයකින් පසුව පමනි.විවාහයක් කඩාකප්පල් වීම නිසා දෙපාර්ශවය ස්වේච්ඡාවෙන් වෙන්වීම ගැන අදහස රෝම ලන්දේසි නිතියද පිලි‍ නොගනී.අනාචාරය හෝ ද්වේශ සහගත හැර යාම යන කරුනු දෙක උඩ පමනක් එම නීතිය තුල දික්කසාද වීමට ඉඩ ලබා දුන් අතර දික්කසාදයට පෙර යම් පාර්ශවයක වැරැද්ද උසාවියක් ඉදිරියේ ඔප්පු කිරීම අත්‍යවශය කරුනක් ලෙස ඒ තුල සැලකේ.මෙම නීති දෙකින් ආභාසය ලත් ලංකාවේ නීතියට අනුව අනාචාරය,ද්වේශ සහගත හැරයාම හා විවාහ වන අවස්ථාවේ තිබෙන සුව කල නොහැකි ලිංගික බෙලහීනතාවය නමැති සීමිත අවස්ථා තුන මත පමනක් දික්කසාද වීමට යුවලකට ඉඩ දෙනු ලැබේ.

ඒකභාර්යා/පුරුෂ ව්‍රතය සිංහල බෞද්ධ ද?
දික්කසාද වීම,විවාහයෙන් පිට සබදතා යනාදිය ගැන ක්‍රිස්තියානි විදේශීක නීතින් එවැනි ආකල්පයක් දරද්දී ඒ පිලිබද සිංහල බෞද්ධ සංස්කෘතිය පැවතියා යැයි කියන පැරනි සමාජය දැරූ ආකල්පය කවරක්ද?
මේ පිලිබද අවබෝධයක් වර්තමානයේ සීමිත මට්ටමකින් ඉතිරි වී තිබෙන උඩරට නීතිය හැදෑරීමේදී ලබා ගත හැක.උඩරට නීතිය ( තේසවලාමෛ නීතිය මෙන් ) ලංකාව තුල උප නීතියක් ලෙස පිලිගැනේ.එනම් උඩරට සිංහල ජනයාට යම් යම් විශේෂිත කරුනු වලදී පමනක් අදාල වෙන උප නීති ක්‍රමයක් ලෙස එය ක්‍රියාත්මක වේ.උඩරට නීතිය යනු ඉංග්‍රීසින් උඩරට යටත් කරගැනීමට පෙර උඩරට පලාත් වල පැවති පාරම්පරික නිතියයි.සිංහල නිතියක් ලෙස පිරිසිදු අර්ථයෙන් සැලකිය හැක්කේ උඩරට නීතිය පමනකි යන්න එල්.ජේ.එම්.කුරේ වැනි ශාස්ත්‍රඥයන් දක්වා තිබෙන අදහසකි.

සිංහල සදාචාරය තුල උඩරට නීතිය

දික්කසාදය කෙරෙහි උඩරට නීතිය දක්වන ආකල්පය කවරක්ද?රෝම ලන්දේසි හා ඉංග්‍රීසි නීතියට වෙනස්ව උඩරට නීතිය යම් යුවලකට හුදෙක් එකිනෙකාගේ කැමැත්ත මත (mutual consent) දික්කසාද වීමට තිබෙන ඉඩ පිලිගනී.එනම් එකට විසීමට දෙදෙනා අකමැති නම්,නඩු පවරමින් විවිධ පූර්ව අවශ්‍යතා ඔප්පු කිරීමට වෙහෙසීම අවශ්‍ය නොවේ.සරලවම වෙන්වී යා හැක.මෙය පැහැදිලිවම විවාහය කෙරෙහි දක්වන ලිහිල් නිදහස්කාමී ආකල්පයකි.එවැනි දික්කසාදයකට අධිකරනමය ක්‍රියාවලියක් අනවශ්‍ය අතර රෙජිස්ට්‍රාර්වරයෙකු ඉදිරියේ දික්කසාදය ප්‍රකාශ කිරීම පමනක් ප්‍රමානවත්ය.

අනෙත් අතට යුරෝපා නීතින්ට වෙනස්ව උඩරට නිතිය අවිවාහජ දරුවෙක්ට (විවාහයෙන් පිට සබදතාවක් නිසා උපදින දරුවෙක්ට ) පියාගේ දේපල උරුමය පිලිබද යම් යම් අයිතිවාසිකම් පිරිනමා තිබේ.විවාහයෙන් පිට උපදින දරුවෙක්ටත් විවාහය තුල සිටින දරුවන්ට වාගේම ඇතැම් අයිතීන් තිබේ යන්න පිලිගැනීම හරහා උඩරට නීතිය විවාහය නම් සංස්ථාව එතරම් පරම දෙයක් ලෙස සලකා නොමැත යන නිගමනයට ඒම අසීරු නොවේ.
මේ අනුව පැහැදිලි වන්නේ ක්‍රිස්තියානි ආභාෂය ඇති විදේශ නීති ක්‍රම විවාහය පරමත්වයට නංවද්දී පිරිසිදු සිංහල නීතිය වන උඩරට නීතිය විවාහය වැනි නිල සබදතා එතරම් බැරෑරුම්ව සලකා නොමැති බවයි.නමුත් අද අප අපේ සිංහල සංස්කෘතිය යනුවෙන් පිලිගන්නේ විවාහය කෙරෙහි කොන්සර්වැටිව් ආකල්පයක් දරන ක්‍රිස්තියානි ආකල්පයද,නැත්නම් ඒ කෙරෙහි ඉතාම නිදහස්කාමී ආකල්පයක් දැරූ පැරනි සිංහල සමාජයේ ආකල්පයද යන්න සැලකීම මෙහිදී විනෝදජනක අභ්‍යාසයකි.අප "අපේ දෙය" ලෙස වැලදගෙන තිබෙන්නේ ඇත්තටම "අපේ දෙය" නොව විදේශික අනෙකකි!

ඒක භාර්යා ඒක පුරුෂ ව්‍රතය පිරිසිදු සිංහල සංස්කෘතියේ අංගයක් නොවේ.එය ක්‍රිස්තියානි දායාදයකි.ලිංගික සබදතා කෙරෙහි දැඩි නිල ආකල්පයක් දැරීම පැරනි සිංහල සමාජවල ලක්ෂනයක් නොවේ.එය යටත්විජිතවාදය විසින් ආරෝපනය කල වටිනාකමකි.ගැහැනුන් ඇග වසා ඇදුම් හැදීම පැරනි සිංහල සංස්කෘතියේ අංගයක් නොවේ.ඊට වෙනස්ව නිරුවත කෙරෙහි එම සමාජ දැක්වූ ආකල්පය අතිශය විවෘතය.නිරුවත වාරනය කිරීමද වික්ටෝරියානු දායාදයකි.
ගංගොඩවිල සෝම හිමි වරෙක කාලයකට ඉහත පලවූ පාරාදීසිය නම් සගරාව දරුනු ලෙස විවේචනය කලේ ගැහැනු නිරුවත අන්තර්ගත එවැනි ප්‍රකාශන සිංහල සභ්‍යත්වයට දැඩිලෙස හානිකර බව පවසමිනි.එම හිමියන් එවැනි දැඩි සදාචාරවාදී පෙනී සිටීමක් කරද්දී තමන් සිංහල සභ්‍යත්වය යනුවෙන් පරිකල්පනය කරගෙන සිටිනුයේ ඇත්ත වශයෙන්ම සිංහල සභ්‍යත්වය නොව බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයයි යන්න දැන නොසිටීම අතිශය උත්ප්‍රාසවත්ය.

බලය විසින් ඉතිහාසය අර්ථකතනය කිරිමේදී සිදුව තිබෙන මෙවැනි විකෘතිවීම් හැදෑරීම ඉතාම රසවත් අත්දැකීමක් වන්නේය.ස්වකීය දේශපාලන බලය රැකගනු වස් කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා දෙසැම්බර් 25 ජේසුගේ උපන් දිනයයි යනුවෙන් කල විකෘතිය අද වන විට ලක්ෂ ගනන් ක්‍රිස්තියානි ජනයා පරම සද්භාවයෙන් අදහන උත්කෘෂ්ට ඇදහීමක් බවට පත් ඇත්තේ යම් සේද,අනන්‍යතා අර්බුදයකින් පෙලුන මධ්‍යම පංතික චින්තකයන් සමූහයක් පාරම්පරික සිංහල බෞද්ධ සංස්කෘතිය වනාහි මෙයයි යනුවෙන් විකෘති ලෙස අර්ථනිරූපනය කල වටිනාකම් සමුදායක් සැබැවින්ම සිංහල සංස්කෘතිය යැයි අදහමින් ලක්ෂ ගනන් සිංහලයෝ අද වන විට සංස්කෘතිය සුරැකීමේ රාජ්‍ය මතවාදය වන්දනාමාන කරමින් සිටිති.

වන්දනා කිරීම වෙනුවට කැරලි ගැසීම - Let us learn from Raghavan


IRA සංවිධානයේ ප්‍රචාරක සිතුවමක්

ස හැවිරිදි ශේදු රාඝවන් බන්දුල ගුනවර්ධන ඇමැතිගේ දෙපා නැමැදීම ප්‍රතික්ෂේප කලේය.පසුගිය සැප්තැම්බර් 20 වන දා යාපන පුස්තකාල පරිශ්‍රයේදී ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලම ලකුනු ලබාගත් සිසුන් සදහා ත්‍යාග පිරිනමනු වස් පැවති උත්සවයකදී  මෙම ප්‍රතික්ෂේප කිරීම සිදුවිය.මනි දර්ශිකා,රමේෂ් සහ ශාර්මිකා ශර්වානන්ද නම් එම අවස්ථාවට සහභාගී වූ අනෙත් සිසුන් තිදෙනා ඇමැතිවරයාගේ දෙපා නමස්කාර කල අතර හුදෙකලා ශේදු රාඝවන් ත්‍යාග ලබාගැනීමේදී ඇමැති ඉදිරියේ දන නොගැසීය.තමා මුලතිවු දිස්ත්‍රික්කයේ ඉතාම අසීරු තත්වයන් යටතේ ඉගෙන ගත් බවත්,සිය ජයග්‍රහනයේ ගෞරවය හිමි විය යුත්තේ සිය දෙමවුපියන්ට හා ගුරුවරුන්ට පමනක් මිස අන් කිසිවකුට නොවන බවත් මෙම ක්‍රියාව පිලිබද පසුව විමසූ කල්හි ශිෂ්‍යයා මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කොට තිබුනි.
මෑතකාලයේ මෙම ලියුම්කරු දුටු හුදෙකලා පුද්ගලයෙකු විසින් සිදුකල වඩාත්ම රැඩිකල් ක්‍රියාව සිදුකිරීමේ ගෞරවය කුඩා ශේදු රාඝවන් වෙත හිමි වේ.රාඝවන් සහ බන්දුල ගුනවර්ධන අතර ඇති සම්බන්ධතාවය අනන්‍යතා කිහිපයක් යටතේ අපට ගොනු කල හැක.පලමුව ගුනවර්ධන ඇමැතිවරයෙකු (ප්‍රභූවරයෙකු) වන අතර රාඝවන් හුදු සාමාන්‍ය සිවිල් වැසියෙකි.දෙවෙනුව ගුනවර්ධන වැඩිහිටියෙකු වන අතර රාඝවන් බාලයෙකි.තෙවනුව ගුනවර්ධන සිංහලයෙකු වන අතර රාඝවන් ‍දමිලයෙකි.
ඉහත අනන්‍යතා අතර සම්බන්ධතාවය පවතින සමාජය තුල ස්ථානගත වී තිබෙන්නේ කෙසේද?එහි සෑම එක් අනන්‍යතාවයක්ම ආධිපත්‍යය පිලිබද හැගවුමක් වන අතර ඊට පසමිතුරු අනෙක් අනන්‍යතාවය යටත්භාවය පිලිබද හැගවුමක් නියෝජනය කරයි.ප්‍රභූ දේශපාලකයා යනු පවතින  සමාජයේ ආධිපත්‍යය සහිත භූමිකාවකි.ආධිපත්‍යය ගොනු වී තිබෙන්නේ දේශපාලකයා නම් ව්‍යුහය තුලය.පුරවැසියා යනු එම ව්‍යුහය වන්දනාමාන කරන යටත් චරිතයකි.සමාන ආකාරයකින් තවමත් ශේෂ වී පවත්නා පූර්ව ධනේශ්වර ආසියාතික මිනිස් සබදතාවන් තුලදී වැඩිහිටියා යනු ආධිපත්‍යය දරන්නාය.ලමයා යනු ඔහු වෙතින් ශික්ෂනය වන,එම නිසා ඔහු වෙත අවනතභාවය පල කල යුතු යැයි අපේක්ෂා කරන්නෙකි.සිංහල - දෙමල අනන්‍යතා අතර ද ඉහත කී ආකාරයේම බල සම්බන්ධතාවයක් පවතී.පශ්චාත් යුද සන්දර්භය තුල සිංහල යනු ජයග්‍රාහී අනන්‍යතාවයක් වන අතර දෙමල - විශේෂයෙන් උතුරේ දෙමල- යනු පරාජිත / යටත් අනන්‍යතාවයකි.ආධිපත්‍යය සංයුක්තව තිබෙනුයේ සිංහල නමැති අනන්‍යතාවය තුලය.උදාහරනයක් ලෙස දකුනේ සිංහල ජනයාට යුද්ධය අවසන් වීම යනු උතු‍රුකරයේ ට්‍රිප් යාමට,නාගදීපය වැදීමට,බිදුනු වතුර බටේ මතට වී ෆොටෝ ගැසීමට උදා වූ රමනීය අවස්ථාවකි.උතුරේ දමිලයාට එය වනාහි අපේක්ෂා භංගත්වයේ සහ පරාජිතභාවයේ මොහොතකි.එල්.ටී.ටී.ඊ ඒකාධිපතිත්වය වෙනුවට ආදේශ වූ හමුදා ඒකාධිපතීත්වයට යටත්ව දකුනින් උතුරට විනෝද චාරිකා එන පිරිස් දෙස බලා සිටීම යනු මේ මොහොතේ උතුරේ දමිලයාට නියම වී ඇති භූමිකාවයි.එනම් යුද්ධය අවසන් වීම නැමැති තනි සිදුවීම සිංහලයාට හා දමිලයාට දනවන්නේ අර්ථ දෙකකි.මෙම වෙනසට හේතුව බහුතරය සහ සුලුතරය අතර තිබෙන පීඩක - පීඩිත සම්බන්ධතාවයයි.
කෙටියෙන් කියන්නේ නම් රාඝවන් හා ගුනවර්ධන අතර ගනුදෙනුවේදී ප්‍රභූ දේශපාලකයා/ආසියාතික වැඩිහිටියා/ජයග්‍රාහී සිංහලයා ලෙස බන්දුල ගුනවර්ධන පීඩකයාගේ භූමිකාවට පන පොවන ප්‍රකාර කිහිපයකි.රාඝවන් නම් පීඩිතයා නිර්ප්‍රභූ වැසියා/ආසියාතික ලමයා/පරාජිත දමිලයා ලෙස අනන්‍යතා තුනකින් යුක්තව පෙනී සිටී.
දැන් බන්දුල ගුනවර්ධනට වන්දනා කිරීම ප්රතික්ෂේප කිරීමෙන් රාඝවන් අභියෝග කරන්නේ කවරකටද?ඉහත කී බල සබදතා ප්‍රකාරයන් ත්‍රිත්වය රාඝවන් මෙහිදී අභියෝගයට ලක් කරයි.ප්‍රභූ දේශපාලකයාට සාමාන්‍ය වැසියන් වැදිය යුත්තේ ඇයි?වැඩිහිටියන් අභිමුව බාල වයස්කරුවන් දන ගැසිය යුත්තේ ඇයි?ඔබ ජයග්‍රාහී සිංහල ධනපති රාජ්‍යයේ කැබිනට් ඇමතිවරයෙකු විය හැක.නමුත් ඔබ ඉදිරියේ මා දන ගැසිය යුත්තේ ඇයි?රාඝවන්ගේ ක්‍රියාව කලාතුරකින් දැකිය හැකි වර්ගයේ රැඩිකල් සංසිද්ධියක් වනුයේ එහි තිබෙන මෙම බහුමානීය ස්වභාවය නිසාය.
පවතින බල ව්‍යුහයන්ට අනුගත වනවාද,ඒවාට එරෙහිව කැරලි ගසනවාද යන විවාදය උනුසුම්ව නැගෙමින් තිබෙන වකවානුවක රාඝවන් සිදුවීම අප වෙත ගෙනෙන සංඥාව අතිශයින් වැදගත්ය.සමාජයේ අධිපතිත්වය දරන බල ව්‍යුහයන්ට අනුගත වීම හා ඒවා ඉදිරියේ දන නැමීම පහසුය.එය ඇග නොරිදෙන භාවිතාවකි.ජයතිලක කම්මැල්ලවීරගේ චුම්බන කන්ද නවකථාවේ එන ලොකු විජේ නම් චරිතය 71 කැරැලිකරුවෙකි.අරගලය පරාජය වී පසුබසිද්දී හෙතෙම රැකවරනය ලබන්නේ චුම්බන කන්ද නම් වන පෙදෙසකය.පසුව පුනරුත්ථාපනය වන ඔහු ප්‍රධාන පක්ෂයකට එක්ව ඇමැතිවරයෙකු බවට පත්වන අතර හේ ඉක්බිති චුම්බන කන්දට එන්නේ එය හොලිඩේ රිසෝට් එකක් බවට පත්කිරීමේ යෝජනාව රැගෙනය.වන අඩවිය ගරිල්ලා කලාපයක් බවට පත්කරගැනීම පවත්නා බල ව්‍යුහයන්ට එරෙහි ඇග රිදෙන වැඩකි.එය හොලිඩේ රිසෝට් එකක් බවට පත්කරගැනීම පවතින දෘෂ්ටිවාදයට අනුගත වීමකි. එනයින් පහසු ක්‍රියාවකි.එහෙත් මෙහිදී අපගේ ගෞරවය හිමි වන්නේ ලොකු විජේ නම් ගරිල්ලා සටන්කරුට මිස හොලිඩේ රිසෝට් යෝජනා ගෙනෙන ඇමැතිවරයාට නොවේ. එලෙසින්ම ‍‍ජාතිවාදය,ආගම්වාදය වැනි සමාජයේ බලපවත්නා පැරනි අගතීන්ට ආමන්ත්‍රනය කරමින්,පවතින බල ව්‍යුහ සමග ගැටෙනවා වෙනුවට ඒවාට අනුගත වෙමින්,ඒ මත්තෙන් ගොඩ යාමට උත්සාහ කිරීම අව්‍යාජ විකල්ප දේශපාලනයක් වෙනුවෙන් සටන් කරනවාට වඩා භෞතිකව පහසුය.සරලය.නමුත් භෞතිකව දුෂ්කර වූ දෙවැන්න මිස පලමුවැන්න කිසිසේත්ම අපගේ ගෞරවයට හෝ විශ්වාසයට හේතු නොවේ.

අබා ඇවිත් ගියේය... මහින්ද මාහිමි වැඩියේය... මහ රජ ගැමුණු මගය...
 
 
2600 වන සම්බුද්ධත්ව ජයන්තිය යෙදුණු මෙවර වෙසක් පුනු පොහෝ දිනයට පසු දිනයේ සිට 'මහින්දාගමනය' මහජන ප්‍රදර්ශනය ඇරඹිණි. සනත් අබේසේකරගේ 'සිනමාගමනය' ගැන මෙන්ම 'මහින්දාගමනය' ගැන යමක් ලිවීමට ප්‍රථමයෙන් එකිනෙකට සහසම්බන්ධ සේම එකිනෙකට සහසම්බන්ධයක් නැති ප්‍රකාශ 3 ක් හා ඊටම අදාළ සිදුවීම් 3 ක් ගෙන හැර දැක්වීමට කැමතිය.

01. "තමන්ගේ ඕස්ට්‍රේලියානු බිරිඳ හැරදමා එහි සුඛෝපභෝගී ජීවිතය හැරදමා තමන්ගේ මව්බිමේ සිනමාව රැකගන්නට පැමිණි, එහෙව් කැපකිරීම් කළ අධ්‍යක්ෂවරුන් සිටින බව බොහෝ දෙනා දන්නේ නෑ.."
-(සෝමරත්න දිසානායක) - 'අබා' චිත්‍රපටය පිළිබඳ කෙරුණු ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය - මහවැලි කේන්ද්‍රය-

02. "කවුද කියන්නේ දුවේ පුතේ සිද්ධාර්ථ කුමාරයා යශෝධරා දේවියයි රාහුල පොඩි පුතයි අතහැරලා දාලා මහ රෑක හොරෙන් මාළිගාවෙන් පැනලා ගියා කියලා.. ඕවා බොරු කතා. බෝසත් කුමාරවරු ඒ වගේ නරක වැඩ කරනවද.. සිද්ධාරථ කුමාරයා යන්නට ගියේ තමන්ගේ දේවියට ඒ බව දන්වලා..."
-(මෙවර කොට්ටාව නගරයේ ඉදි කර තිබුණු 'සම්බුදු සිරිත' දැක්වෙන තොරණේ කතා පුවතට අදාළ කැසට් පටයෙන්)

03. "මං මේ සභාවේ සිටින අයගෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි.. ගැමුණු රජ 'ගැමුණු' මිසක් 'දුෂ්ඨ ගාමිණී' එහෙමත් නැත්නම් 'දුටුගැමුණු' නෙවෙයි. කරුණාකරලා 'දුෂ්ඨ' යන විශේෂණය පාවිච්චි කරන්න එපා.. අපි ඒ ඉතිහාසය නිවැරදි කරමු."
-(ජයන්ත චන්ද්‍රසිරි- 'මහරජ ගැමුණු' කෘතිය එළිදැක්වුණු 2010-03-31 දින පදනම් ආයතනයේ පැවති සිය කෘතිය එළිදැක්වුණු මොහොතේ කළ අදහස් දැක්වීමෙන්)

ස්වර්ණ සංඛ පදනමෙන් සංවිධානය කෙරුණු ජැක්සන් ඇන්තනීගේ 'අබා' චිත්‍රපටය පිළිබඳ වූ සම්මන්ත්‍රණයේ දී දේශනයක් කළ සෝමරත්න දිසානායක නම් අධ්‍යක්ෂවරයා කළ ඉහත ප්‍රකාශයෙන් සඳහන් කළ පරිදි සිංහල සිනමාව රැකගන්නට බිරිඳ හැරදමා ආව අධ්‍යක්ෂවරයා කවුද යන්න ආරම්භයේදී සභාවේ සිටියවුන්ට ගැටලු සහගත විය. එහෙත් ඔහුම මොහොතකින් ඒ අන් කිසිවෙකු නොව 'තමාම' යයි පෙන්වා දුන්නේය.

එකී සංසිද්ධියට අදාළව ගම්‍යවන කාරණය නම් සෝමරත්න දිසානායක මහතාට අනුව තමන් එක් බිරිඳකගෙන් වෙන්වීම සිංහල සිනමාව වෙනුවෙන් කරන ලද කැපකිරීමකි. එසේම ඔහු හෙට දිනයේ වත්මන් බිරිඳගෙන් වෙන්වී වෙනත් අවාහයක් කරගනු ලැබුවහොත් එයද 'සිංහල සිනමාවේ උන්නතිය වෙනුවෙන් කරන ලද මහඟු දායකත්වයක්' ලෙස ඔහු ම අර්ථ ගන්වනු ලැබුවහොත් එය පුදුම වීමට තරම් කාරණයක් නොවනු ඇත.

එසේ වුව ද ඇතැම් විට වෙන්වුණු හෝ වෙන් කරන ලද බිරිඳගෙන් ඒ පිළිබඳ විමසා සිටියහොත් දෙනු ඇති පිළිතුර මීට සපුරා වෙනස්විය හැකිය. එපමණක් නොව දිසානායක මහතාම ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක දී මෙසේ කීව ද ඔහු තම අතිජාත මිත්‍රයෙකුට අවන්හලක මධුවිතක් තොලගාමින් පවා කියනු ඇත්තේ වෙනස් කතාවකි. එහෙත් හේතු සාධක කුමක් වුවද යම් සංසිද්ධියක් සිදුව තිබේ. එය නම් සෝමරත්න දිසානායක මහතා සිය බිරිඳකගෙන් දික්කසාද වී ඇත!

දෙවන උදාහරණය සලකා බලනවිට දහම් දැනුම ලබාදෙන දහම් පාසල් පෙළ පොතේ සිට පාසලේ බුද්ධ ධර්ම පෙළ පොත් දක්වාම බෞද්ධ සාහිත්‍යය තුළ උගන්වනු ලබන්නේ ගිහි ගෙය කළකිරුණු සිද්ධාර්ථ බුද්ධත්වය අපේක්ෂාවෙන් ඡන්න ඇමතිට පමණක් දන්වා ඔහුත් සමග රහසේම මාළිගයෙන් අභිනිෂ්ක්‍රමණය කළ බවයි. එහෙත් කොට්ටාව තොරණේ සංවිධායකයින් එය බෝධි සත්වයෙකුට නොගැලපෙන ක්‍රියාවක් යයි සිතන නිසා ඔවුන්ටත් ඉහත ආකාරයේ ප්‍රකාශයක් කරනු හැකිය. සිද්ධාර්ථ කුමරුට නම් තැබූ මොහොතේ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා විසින් කුමරුගේ ඌර්ණ රොම ධාතුව දකුණට කරකැවී පිහිටීම නිසා මොහු ගිහිගෙය හැර යන්නේ නම් ඒකාන්තයෙන්ම බුදුවන බව පවසා තිබිණි. එබැවින් කුමරු කෙදිනක හෝ ගිහිගෙය හැර යා හැකි බව යශෝධරා පවා දැන සිටියා විය හැකිය. සිද්ධාර්ථ කුමරු සතර පෙර නිමිති දුටු බව රජ මාළිගයේ වග කිවයුත්තන් දැන සිටි නිසාමත් කුමරුගේ නික්ම යාම ඉක්මන් වනු ඇති බවද ඔවුන් දැන සිටියා යයි කෙනෙකුට තර්ක කළ හැකිය. කෙසේ වුවද ක්‍රි. පූ 6 වන සියවසේ සිද්ධාර්ථ නම් ක්ෂත්‍රීය වංශික කුමාරයෙකු බුද්ධත්වය අපේක්ෂාවෙන් ගෘහ ජීවිතයෙන් මිදී ශ්‍රමණයෙකු බවට පත්වීමේ සංසිද්ධියක් සිදු වී තිබේ.

තෙවන උදාහරණය සලකා බලද්දී පිය රජු ට ස්ත්‍රී ඇඳුම් ආයිත්තම් යැවීම ආදියේ සිට ඒ යුගයේ මහා විහාරවාසී භික්ෂූන් සිතූ ආකාරයේ යම් යම් නොපනත් ක්‍රියාවන් ගැමුණු රජ විසින් සිදු කළ නිසාම 'දුෂ්ඨ ගාමිණී අභය'නමින් ද ඔහු හඳුන්වා ඇත. ගැමුණුට පරිකල්පනීය සහ සම්බන්ධයකින් ආදරය කරන කෙනෙකුට එය සිත් රිදවන්නක් වී නම් ජයන්ත චන්ද්‍රසිරිගේ කරට අත දමා ගෙන ඔහුගේ ඉහත ප්‍රකාශය හා අනන්‍ය විය හැකිය. එකී කුමන ආකාරයට සහසම්බන්ධ වීමට වුව ද ගැමුණු නම් අයෙකු ලංකා ඉතිහාසයේ රාජ්‍යත්වයට පත්වීමේ සංසිද්ධියක් සිදුව තිබේ.

මෙම උදාහරණ ත්‍රිත්වයෙහි මහා පොදු සාධකය වෙනත් ආකාරයකට වරනැඟිය හැකිය. අතීතයේ යම් යම් සංසිද්ධීන් සිදුව ඇති බව සැබෑය. සිදුවීම එකක් වුව ද එකී සිදුවීම් වලට අදාළ හේතු සාධක විවිධය. විෂමය. අර්ථ දැක්වීම් විවිධය. විෂමය. තමන්ගේ මතයට වඩා යෝග්‍ය වන පරිදි, තමන්ට වඩා වාසිදායක පරිදි එකී විවිධ හේතු සාධක බොහොමයක් අතුරින් තමාට අහිතකර හේතු සාධක අතහැර වාසිදායක හේතු සාධක පමණක් ගෙන කාලානුරූපව පිළිවෙළකට ගලපා ආඛ්‍යානයක් සෑදිය හැකිය. එකී ආඛ්‍යානයකට කෙනෙකුට 'ඉතිහාසය' යයි කිව හැකි වන අතර තවත් කෙනෙකුට 'ඉතිහාසය පිළිබඳ එක්තරා දෘෂ්ටිවාදයක්' යයි කිව හැකිය. කෙනෙකුට එය 'පරම සත්‍යය' ලෙස විශ්වාස කළ හැකි වෙනු අතර තවත් කෙනෙකුට එය 'මනස්ගාතයක්' වනු ඇත. ඒ අනුව ලාංකීය ඉතිහාසය නමැති මනස්ගාතය කියවීමට ඔබට කවුළුවක් විවර කළ හැකිය.

ඉතිහාසයේ දෘෂ්ටිවාදය හෙවත් අනන්‍යතාවයේ මනස්ගාත ආඛ්‍යානය

අපට මේ මොහොතේ හමුවන ඉතිහාසය කියවන්නන් හා ලියන්නන් අතීතය දෙස හැරී බලන්නේ වර්තමාන අනන්‍යතාව හා සංකල්පයන් ඔස්සේය. මේ සංකල්පීය ඉදිකිරීම් සමාජීය පැවැත්මේ කොන්දේසි (conditions of existence) හා අදාළ භෞතික බලවේග මත රඳා පවතියි. එහෙයින් වර්තමාන දෘෂ්ටිවාදයන් හා ආශාවන් මත ගොඩනංවන ලද 'කල්පිත අතීතය' වනාහී හුදෙක් ප්‍රබන්ධයක් පමණි.  මා අයත් සමාජ භාෂාවේ සංඝටක ඇසුරෙන් සියවස් ගණනාවක අතීතය විනිවිද දකින්නට මම ප්‍රයත්න දරමි. එවිට ඒ අතීතය මා හට නැරඹිය හැක්කේ මා අයත් භාෂා ලෝකයේ ප්‍රිස්මය තුළිනි. එවිට මට අවශ්‍ය පරිදි මාගේ ආශාව ප්‍රතිබිම්බනය කරන පරිදි අතීතය මා ඉදිරියේ ප්‍රක්ෂේපණය වේ. වෙනත් අයුරකින් කියන්නේ නම් මා 'සිංහල බෞද්ධ ඉතිහාසය' නම් දෘෂ්ටිවාදයේ ප්‍රකාශනයක් නම්, මට ඉතිහාසය නැරඹිය හැක්කේ හෝ ගවේෂණය කළ හැක්කේ ඒ තුළින්ම පමණි. එවිට ඒ දෘෂ්ටිවාදී ප්‍රිස්මය විසින් ඉතිහාසය එයට අදාළ අයුරින් පෙන්නුම් කරනු ඇත. ඒ අනුව ගත් කල 'ඉතිහාසය ඔස්සේ 'දකින ඉතිහාසය වනාහී අපගේ වර්තමාන දෘෂ්ටිවාදී පක්ෂපාතීත්වයන් අනුව ගොඩනැෙඟන අතීතයයි. '

(ජාතියේ ඉතිහාසය භාෂාමය ගොඩනැංවීමක් ලෙස- මාතොට 1998: අප්‍රේල් - පිටුව 38)


එබැවින් මහා වංශය ලියැවෙන්නේ මහා විහාරවාසී භික්ෂූන්ගේ පන්හිඳෙන් නිසාම මහා විහාරයට වඩා සමීපව සිටි දුටුගැමුණු රජු පිළිබඳ මහා වංශයේ පරිච්ඡේද 37 න් 11 ක් ලියැවෙන විට මහා විහාරයට එරෙහිව ගිය මහසෙන් රජු පිළිබඳව ලියැවෙන්නේ ඉතා සුළු කරුණු කිහිපයක් පමණක් වීම අහම්බයක් නොවේ. පශ්චාත් යටත් විජිත ලංකාවේ ජාතික රාජ්‍ය ගොඩනඟන විට උතුරු- නැගෙනහිර ද්‍රවිඩයා බැහැර කරන ලද්දේ යම් සේක්ද ඒ අයුරින්ම අනුරාධපුර රාජ්‍ය ගොඩනගන විට ගාඩි වංශය බැහැර කළ අයුරු ආචාර්ය සුනිල් විඡේසිරිවර්ධනගේ 'රත්නවල්ලි' කෙරෙන් ගම්‍ය වේ.

දුටුගැමුණු රජු පිළිබඳ දැවැන්ත සිනමා කෘතියකට අත ගසා සිටි ජයන්ත චන්ද්‍රසිරි තමන්ගේ අභිප්‍රාය පියවරක් පසුපසට ගෙන 'මහ රජ ගැමුණු' නමින් සිය තිරපිටපත නව කතාවකට පෙරළයි. එහි එක් තැනක එළාර රජ මෙසේ පවසයි.

'ගාමිණී අභය රජතුමා මහා ලේ වැගිරීම වැළැක්වීමට මට ද්වන්ධ සටනකට ආරාධනා කර තිබෙනවා. ඒ සටනින් එක්කෝ ඔහු මිය යාවි. නැතහොත් මා මිය යාවි. එහෙත් ඔහු පවසන පරිදි ඒ නිසා අප කිසිවෙකු හෝ සමඟ මනුෂ්‍යත්වය මිය යන්නේ නැහැ...'
-(මහ රජ ගැමුණු - පිටුව.260 )


මේ අයුරින් ජයන්ත චන්ද්‍රසිරිට අනුව සිදුවිය හැකි මහා මනුෂ්‍ය සංහාරය වැළැක්වීමේ අරමුණෙන් එළාර රජුට ද්වන්ධ සටනකට ආරාධනා කරනු ලබන්නේ ගැමුණු රජු විසිනි.

එහෙත් ආචාර්ය සුනිල් විඡේසිරිවර්ධනගේ 'රත්නවල්ලි' පිටපතේ විහාර මහාදේවිය ගැමුණු රජු අතර සංවාදයක දී ඇය පවසනු ලබන්නේ මෙවැන්නකි.

විහාරමහාදේවිය: 'මහ තෙරුන් ලියාගෙන යන මහ පුස්තකයෙහි නුඹ ගැන නොවැ ඔය ලොකුවට කතා කරන්නේ.. නුඹේ දස්කම් ගැන. වීරකම් ගැන, ගුණවත්කම් ගැන එක දිගට කියැවෙනව. කොටින්ම අනුරාධපුරයේ අන්තිම සටන ගැන ලියා තියෙන හැටි දැක්කම මටත් පුදුම හිතුණා.. එළාර, ද්වන්ධ සටන සඳහා නුඹට ආරාධනා කරලා එවපු පයින්ඩෙයි.. තෑගියි ගැන වචනයක් වත් නොකියා ඒ අදහස හරියට නුඹේම ශ්‍රේෂ්ඨ අදහසක් විදිහටයි දක්වලා තියෙන්නේ.. ඉතින් තව මොනවද නුඹ උන්වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ.."
-(රත්නවල්ලි, පිටුව -25)


ගැමුණු රජු ඔසවා තබන්නට අතිශයෝක්තියෙන් වාගාලාප කියන මහා වංශකරුවාට අත් වැරදීමකින්දෝ එළාරගේ නොකියාම බැරි යහපත් ගති පැවතුම් කිහිපයක්ද සටහන් කොට තබා තිබේ. සුනිල් විඡේසිරිවර්ධන විසින් සිය ආඛ්‍යානය ගොඩනගා ඇත්තේ මහා වංශයේ ජයන්ත චන්ද්‍රසිරිට මග හැරෙන පිටු කිහිපයක සටහන් කිහිපයක් ආශ්‍රිතව ඉතිහාසඥයන් දක්වන ලද කරුණු ඔස්සේය.

මහා වංශයේම ඇතැම් තැනක දැක්වෙන කරුණු අනුව එළාර යනු ධාර්මික රජෙකි. ඔහු පොහෝ දිනට ශ්‍රී මහා බෝධිය අසල සිල් සමාදන්වෙයි. වැසි නැති නියං සමයක ශ්‍රී මහා බෝධිය අසල පෙහෙවස් සමාදන් වූ එළාර සත්‍ය ක්‍රියා කොට වැසි ලබා දුන් බවද, තමන්ගේ පුතු විසින් පදවන ලද අශ්ව රථයට යටවී වසු පැටවෙකු මිය ගිය පසු එකී පැටවාගේ මව් එළදෙන ට සාධාරණත්වය ඉටු කරනු පිණිස තම පුතු එකී අශ්ව රථයටම යට කොට මරණයට පත්වීමට සැලැස් වූ බව ද වංශ කතාකරුවා කියා සිටියි. මේවා අතිශයෝක්තීන් විය හැකිය. එහෙත් වැඩි දෙනා මෙම අතිශයෝක්තීන් බැහැර කොට තමාට රිසි දුටු ගැමුණු අරබයා වූ අතිශයෝක්තීන් හිස් මුදුනෙන් පිළිගනියි.

ඉතිහාස ග්‍රන්ථ වල දැක්වෙන අයුරින් ම ගැමුණු කුමරු යුද්ධ කරනු පිණිස අනුරාධපුර රාජධාණියට කඩාවදින විට ඔහු වයස අවරුදු 25ක තරුණයෙකු වන අතර එළාර අවරුදු 74 ක මහල්ලෙකි. එළාර දුර්දාන්ත පාලකයෙකුවීනම් එළාරට වසර 44 ක් වැනි දීර්ඝ කාලයක් අඛණ්ඩව සිය පාලනය ගෙන යා හැකිවනු ඇත්ද.. ? අනෙක් අතට තාරුණ්‍යයෙන් ඔද වැඩුණු රාජ්‍ය බලය කෙසේ හෝ අත්පත් කර ගනු පිණිස සිය සහෝදරයාට පවා එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ ගැමුණු ට වඩා ඉතා මහලු වියේ මරණය පෙනි පෙනී සිටි එළාර තමන්ට පරාජය අත්වන්නට වැඩි ඉඩකඩක් ඇතිවග නොදැන සිටියා විය හැකිද.. ? අවරුදු 44 ක් වැනි ඉතා දීර්ඝ කාලයක් තිස්සේ රට වැසියා දැන හැඟන සිටි ඔහු යුද්ධය වෙනුවෙන් ඔවුන්ට ගෙවිීමට සිදුවන වන්දිය මැනවින් තක්සේරු කළා විය නොහැකිද.. ? එබැවින් සැබවින්ම ද්වන්ධ සටනකට ආරාධනා කිරීමට වැඩි ඉඩක් ඇත්තේ එළාරම විනා අන් කවරෙක් ද යන්න කෙනෙකුට තර්ක කළ හැකිය.

'මහ රජ ගැමුණු' සිනමා කෘතිය ද නුදුරු දිනෙක ප්‍රාදුර්භූත වීමට නියමිත බැවින් මේ පිළිබඳ සැකෙවින් හෝ ලියා තැබීම කාලය අපතේ යාමක් නොවනු ඇත.

ඉඳින් දුටු ගැමුණු ගැන අපි හැදෑරිය යුත්තේ ජයන්ත චන්ද්‍රසිරි ගේ ආඛ්‍යානයද.. ? සුනිල් විඡේසිරිවර්ධන ගේ ආඛ්‍යානය ද යන්න පමණක් අවධානය යොමු කිරීම ඔබට බාරය.

මෑත කාලයේ වඩා උත්කර්ශයට ලද 'සිංහල- බෞද්ධ රණකාමී කතිකාව' තුළ දුටු ගැමුණු, ශ්‍රී වික්‍රමරාජසිංහ, සපුමල් කුමරු, කැප්පෙටිපොල, කිවුලේගෙදර මොහොට්ටාල යන සියල්ල රට ජාතිය බේරාගැනීම සඳහා අභීතව පෙරමුණ ගත්තවුන් ලෙස එක පෙළට සිටවනු අපට දැකගත හැකි විය.

එහෙත් එහිදී සපුමල් කුමරු යනු 6 වන පරාක්‍රමබාහු රජුගේ රාජ සභාවේ සිටි පනික්කාර් නම් ද්‍රවිඩ අමාත්‍යවරයාගේ පුතු වග එහිදී මඟ හැරේ. ශ්‍රී වික්‍රම රාජසිංහ යනු ඉන්දියානු නායක්කාර් වංශිකයෙකු බව නොතකා හැරේ. කැප්පෙටිපොල යනු ඉන්දියාවේ මලබාර් ප්‍රදේශයෙන් පැමිණි ද්‍රවිඩ ප්‍රභූවරයෙකුගෙන් පැවත එන්නෙකු බවට මහාචාර්ය රැල්ෆ් පීරිස් මහතා විසින් ගෙන හැර පානු ලැබූ ඓතිහාසික සාක්ෂි අදාළ නොවේ. ඌව- වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් බොහෝ දෙනා වැදි සම්භවයකින් පැවත එන්නන් බව හා 'කිවුලෙගෙදර මොහොට්ටාල' යනු මුළුමනින්ම වැදි නායකයෙකු බවට මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතා මතු කරන කරුණු අමතක කෙරේ.

අනෙක් අතට මහාවංශයට ධාර්මික රජෙකු වන එළාර, රාජාවලියට දුෂ්ඨ නරපතියෙකි. මහාවංශයට ක්ෂත්‍රීය වංශිකයෙකු වන පණ්ඩුකාභය, දීපවංශයට චෞරයෙකි. ඒ අනුව අප බාරගත යුත්තේ කවුරුන් ලියූ ඉතිහාසය ද යන්න ගැටලුව තවදුරටත් වලංගුය.

මහින්දාගමනය

'මහින්දාගමනය' සිනමා කෘතියට පාදක කරගෙන ඇත්තේ මිහිදු මාහිමි ප්‍රමුඛ පිරිස ශ්‍රී ලංකාද්වීපයට බුදු දහමේ පණිවිඩය ගෙන ආ බවට වන ඓතිහාසික පුරා වෘත්තයයි. ඉතිහාසය පිළිබඳවන නෛසර්ගික ගැටලුව මෙකී පුරා වෘත්තයටද ඒ අයුරින්ම අදාළවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

කාලිංග යුද්ධය දක්වා'චණ්ඩාශෝක' වූ අශෝක රජු එකී යුද්ධයෙන් පසුව යුද්ධයේ දී සිදු වූ මිනිස් සංහාරය පිළිබඳ වරදකාරී හැඟීමෙන් යුතුව 'දිග් විජය' ප්‍රතිපත්තිය අතහැර 'ධර්මාශෝක' වී 'ධර්ම විජය ප්‍රතිපත්තිය' රැගෙන ගිය බව වංශකතාකරුවන්ගේ අදහසයි. එහෙත් ජම්බුද්වීපය එක් සේසත් කළ බව කියන අශෝක රජුට දකුණු ඉන්දියාවේ චෝල, කේරළ හා පාණ්ඩ්‍ය යන රාජ්‍යයන් ත්‍රිත්වය යටත් කර ගැනීමට හැකියාවක් නොලැබිණි. කාලිංග යුද්ධයේදී හානි සිදු වූයේ කාලිංග පාලකයාට හා එකී දේශයට පමණක් නොවේ. යුද්ධයෙන් පසු පිරිස් බලයෙන් මෙන්ම ආර්ථීක වශයෙන්ද වන හානිය අශෝකගේ රාජ්‍යයටද අදාළය. අධිරාජ්‍යයෙකු විසින් පාලනය කළ යුතු පාලන ප්‍රදේශය විශාලවන තරමට කාර්යක්ෂම පාලනයක් ගෙන යාම අසීරු වනවා සේම දුර ඈත ප්‍රාන්ත රාජ්‍යයන් ස්වාධීනත්වය පතා කැරැලි ගසන තත්ත්වයක් නිර්මාණය වීම අතිශය සාමාන්‍ය සිදුවීමක් බවට ලෝක ඉතිහාසය සාක්ෂි දරයි. අනෙක් අතට කාලිංගය ජය ගන්නා යුගය වන විට අශෝක යනු කෙමෙන් මහලුවිය අත්පත් කර ගනිමින් සිටිය පාලකයෙකු නිසාම තරුණ වියේ පෑ චණ්ඩිකම් ඒ අයුරින් අපේක්ෂා කිරීම විහිළුවකි. එබැවින් අශෝක රජුට 'බුද්ධ ධර්මය' යනු බෙලහීන වෙමින් පවත්නා පාලනය යම්තාක් දුරට හෝ සක්‍රීය කරගැනීමේ ආයුධයක්, එසේත් නොමැති නම් දිග් විජය ප්‍රතිපත්තියේම නව ස්වරූපීය දිගුවක් ලෙස සැලකීමට ඇතැම් නූතන ඉතිහාසඥයින් පෙනීසිටීම පුදුමයක් නොවේ.

අධිරාජ්‍යවාදියෙකු විසින් යම් රාජ්‍යයක් යටත් කරගනු ලබන්නේ සම්පත් කොල්ලකෑමටය. තම බලය තව දුරටත් තහවුරු කර ගැනීමටය. තමාට තර්ජනයක් නොවන පරිදි එකී රාජ්‍යයන් හීලෑ කර තබා ගැනීමටය. යටත් වූ රාජ්‍යයන්හි අධිරාජ්‍යයාට ගැති ප්‍රාන්ත රජෙකු පත් කළ පසු ඔහු තම ගැතිභාවය ප්‍රකාශ කරනු ඇත්තේ තම අධිරාජයාට නිසි පරිදි බදු ගෙවීම තුළිනි. එකී බදුවලට කියන නාමය 'පඬුරු පාක්කුඩම්' වුවද කම් නැත. පෙර සිටි පාලකයාම තමාට අවනතභාවය දක්වා පණිවිඩ එවා ඇත්නම් තව දුරටත් යුද්ධ කළ යුතු නොවේ. කළ යුත්තේ තම අභිමතය පරිදි තමන්ට අවනතභාවය දක්වා තමන්ගේ නියෝග පරිදි යළි රාජාභිෂේකයක් පැවැත්වීම පමණි.. 'තම්බපණ්ණි' නම් රාජ්‍යයේ දෙවනපෑතිස් නම් රජෙකු අශෝක රජුගේ අභිමතය පරිදි යළි වරක් රාජාභිෂේක කළ බවට මහාවංශ කතුවරයා කියන දේ යළි කියැවිය යුත්තේ එබැවිනි. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වැනි අධිරාජ්‍යවාදීන් විසින් අප වැනි රාජ්‍යයන් යටත් කරගැනීමේ එක් අපේක්ෂාවක් වූවේ කතෝලික, ක්‍රිස්තියානි ආදී ආගම පැතිරවීම හා ඒ තුළින් වක්‍රාකාරයෙන් අප වැනි රටවල් අධිරාජ්‍යවාදීන්ට හීලෑ කර තබාගැනීම යයි ඊනියා ජාතික චින්තනවාදීන් අවිවාදයෙන් යුතුව පිළිගනු ඇතත් බුදු දහම යනු පූර්ව නූතන අධිරාජ්‍යවාදියෙකුගේ එවැනි බලවාදයක් බව පිළිගන්නට එකී කිසිවෙකුත් ඉදිරිපත් නොවනු ඇත්තේ පෙර කී 'ඉතිහාසයේ දෘෂ්ටිවාදය හෙවත් අනන්‍යතාවයේ මනස්ගාත ආඛ්‍යානය 'නිසාමය. එබැවින් අශෝක අධිරාජයා ධෞලි කාලිංග ලිපියේ 'සියලු රටවැසියෝ මාගේ දරුවෝය' යනුවෙන් කියන විට 'පාලකයා රට වැසියන්ට කොයි තරම් නම් ආදරේදැයි' සිතනු විනා එකී ප්‍රකාශය තුළම විද්‍යමාන වන පීතෘ මූලික ඒකාධිකාරී බලය (අභියෝග නොකළ යුතු) නොතකා හැරෙයි. කෙසේ වුවත් 'මහින්දාගමනය' චිත්‍රපටයට මූලාශ්‍ර කර ගෙන ඇත්තේ මහාවංශය යැයි එහි අධ්‍යක්ෂ සනත් අබේසේකර මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති නිසාම (2011 -02-04 දිවයින) මෙම කරුණු ඔහුට ඒ තරම් අදාළ නොවනු ඇත.

සිනමාකරණයේ දී නිශ්චිත කාල අවකාශයන් හි සීමාවන්ට ගැති නොවුණු අධි තාත්විකවාදී සිනමා රීතියක් පැවතුණ ද 'මහින්දාගමනය' යනු නිශ්චිත කාල සීමාවක යම් ඓතිහාසික සංසිද්ධියක් පාදක කරගත් තාත්විකවාදී සිනමා කෘතියකි. එබැවින් ඒ පිළිබඳ විමසිය යුත්තේ අදාළ නිශ්චිත කාල වකවානුව නම් සංදර්භය මත තැබීමෙන් යයි මම හඟිමි. වෙනත් අයුරකින් කිවහොත් ක්‍රි. ව 2010-2011 යුගයක තාක්ෂණික මෙවලම්, උපාය උපක්‍රම හා දැනුම මත පදනම්ව 'සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 ට පසු' නම් වූ කාල පරිච්ඡේදයක සංසිද්ධියක්, නිර්මාණාත්මක ලෙසත්, සිනමාත්මක ලෙසත් ඉදිරිපත් කළ යුතුය. එය එසේ සිදු වී ඇත්දැයි සලකා බැලිය යුතුය.

ඇහින්දාගමනයේ සිට සිනමාවට ඇති දුර

මහින්දාගමනයට අදාළව සිනමාකරුවා විසින් කෙතරම් ඉතිහාසය පිළිබඳ හැදෑරීම් කළ බව කීවද, (ආඛ්‍යානය මනස්ගාතයක් වීම පසෙකලා) මෙය මහා දැවැන්ත සිනමා කෘතියක් බව හා ලක්ෂ 650 ක් වැනි විශාල පිරිවැයක් මේ වෙනුවෙන් දරන්නට සිදු වූ බව කීවද එකී කිසිදු ප්‍රකාශයක් කෘතිය තුළින් තහවුරු නොවේ. මන්ද යත් ඓතිහාසික පුරාවෘත්තයේ කරුණු ගැලපීමේ දුර්වලතා, දර්ශන පසුතල සැකසීමේ දුර්වලතා, තාක්ෂණික දුර්වලතා මෙන්ම ටෙලිනාට්‍ය රාමුවෙන් පිටපැනීමට නොහැකි වූ සිනමාත්මක කැමරා භාවිතයක් දක්නට නොවීමද කෘතියේ ආරම්භයේ සිටම අවසානය දක්වාම වඩ වඩාත් පැහැදිලි වීමයි. එසේම ළදරු පාසල් යන වයසේ දරුවෙකුට සිය අම්මා විසින් මහින්දාගමනය පිළිබඳ කියා දෙන බොළඳ කතන්දරයකට වඩා වැඩි යමක් අපට කියාපෑමට අධ්‍යක්ෂවරයා අසමත් වීමයි.

කෘතිය තිරය මත දිගහැරෙන්නේ ජම්බුද්වීපයේ අශෝක රජු ට කාලිංග යුද්ධයේ බිහිසුණු අත්දැකීම් මැවී මැවී පෙනෙන දර්ශනයකින් හා අශෝක 'ධර්මාශෝක' වීමෙනි. නීග්‍රෝධ සාමනේරයන් වහන්සේගේ සැහැල්ලු හා ශාන්ත ගමන අධිරාජයාගේ සිත පහන් කළ බව වංශකතාකරුවා කියා සිටියද, තිරය මත දිස්වෙන සාමනේරයන් වහන්සේට ඇත්තේ ශාන්ත වූ ගමනක් නොව පැන පැන යන දඟකාර සාමනේරයන් වහන්සේ කෙනෙකු වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙකු දැකීමෙන් සෙමින් සෙමින් ගොස් මාරුවීමට දරන උත්සාහයක් වැනි ගමනකි.

ඉක්බිතිව තම්බපණ්ණියේ හෙවත් ශ්‍රී ලංකාවට ප්‍රේක්ෂක අපව කැඳවාගෙන යයි. එහිදී දිස්වන්නේ දෙවනපෑතිස් රජු වීදි සංචාරය කරන අතරතුර වැවේ දිය නාමින් සිටි ස්ත්‍රීයක දැක රජුම අසු පිටින් බැස පිහිනා ගොස් ඇය අල්වා ගෙන පසුව ඇය අන්ත:පුරයට කැඳවා ගෙන යන ලෙස රාජ පුරුෂයන්ට අණ කරන දර්ශනයකි. රජු පෙරළා යන්නටත් මත්තෙන් මරන්නට ගෙනියන එළදෙනක සේ රාජ පුරුෂයන් විසින් ඇය ඇදගෙන යනු ලබයි. රජ මාලිගයේ අන්ත:පුර ස්ත්‍රීයක් වන්නට යන ඇයට එසේ සලකනු ලබන්නේ රාජ උදහස පිළිබඳ නොදන්නා රාජපුරුෂයින් නිසාදෝයි ඇතැමෙකුට සිතෙන්නට පුළුවන. කොහොම වුණත් ඇය අන්ත:පුර ස්ත්‍රීයක් වශයෙන් හෝ කැඳවාගෙන යන්නට තරම් රූප සම්පත්තියක් ඇය කෙරෙන් විද්‍යමාන නොවීම, දුර සිට හෝ රජු ඇය දකින ශෘංගාරය දනවන දසුනක් කැමරාවට හසුනොවීම මෙන්ම එකී දර්ශනයෙන් පසු ඇය ආගිය අතක් නැතිවීම ප්‍රේක්ෂකයා අන්දුන් කරවයි. එය එසේ කිරීම අධ්‍යක්ෂවරයාගේ රැඩිකල් භාවිතයක් යයි හීනෙන් ඇහැරුණු කෙනෙකුට පෙනී යා හැකි වුවත් එකී දර්ශනයෙන් සිනමා කෘතියේ අන්තර්ගතයට ලැබෙන ආලෝකයක් ඇත්තේම නැති බව කිව යුතුය.

එසේම රජු වැව කරා එන මාර්ගය මැද තණ ගුදිරි ඉතිරිව දෙපසින් එක සමාන්තර තීරු දෙකක වැලි පොළොව මතුවී ඇති අයුරු පැහැදිලිව පෙනේ. බොහෝ සේ දිය සිඳී ඇති කන්තලේ වැවට දිය නෑම සඳහා ඇදී එන මෝටර් රථ හේතුවෙන් දෙපස තණ වැවී නොතිබීමත්, තැනින් තැන ටයර් සලකුණු පෙන්නුම් කිරීමත් දර්ශන තල කෙරෙහි කලා අධ්‍යක්ෂවරයාගේ සැලකිල්ල යොමුව නැති බව පෙන්වන නිදසුනකි.

සිනමා කෘතිය තුළ කෙරෙන සංවාද පිළිබඳ මෙන්ම සිදුවීම් පිළිබඳවද අවධානය යොමු කළ හොත් නිශ්චිත කාල අවකාශ පිළිබඳ තැකීමක් කිරීමට දැරූ උත්සාහයක් හෝ නොපෙනේ. පූර්ව නූතන යුගයක සිංහල භාෂාවෙන් කෙරුණු සංවාද ප්‍රතිනිර්මාණය කරන්නට ප්‍රථම තිරපිටපත් රචකයා හෝ අධ්‍යක්ෂවරයා සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරු කළ යුතුව තිබිණි. මහින්දාගමනය පිළිබඳ අසුබ ලෙස දකින රජ මාලිගයේම රාජ සේවකයින් දෙදෙනෙකුට කතා කරන අවස්ථාවක අරිට්ඨ කුමරු මෙසේ කියයි.

'රස මසවුළු වල රස දැනෙන්නේ දිවට මිස හැන්දට නොවෙයි.... මල්වල සුවඳ දැනෙන්නේ නාසයට මිස දෑසට නොවේ'

රාජ සභාවට නයෙකු පැමිණීමේ සිදුවීම පිළිබඳ පුරෝහිත මහ සෙනෙවිට කියන්නේ ද 'මා සෑම රාජ පුරුෂයෙකුගෙන්ම ඒ පිළිබඳ ප්‍රශ්න කළා' යනුවෙනි.

තවත් අවස්ථාවක වෙළඳාමේ යන සේරු නමැති මණිබඩු වෙළෙන්දා තමා වෙළඳාම සඳහා 'පශ්චිම බාගයේ සිට සෙයිලමට' ආ බව කියයි. ලංකාවට Ceylon- සිලෝන්, සෙයිලෝන්, යනුවෙන් කරන ලද හැඳින්වීම පසුව නගරයට 'සෙයිලම' යනුවෙන් භාවිතා කරන්නට පෙළඹුන ද, නිශ්විත කාලය පිළිබඳ සලකා බලනවිට එකී වදනේ වයස සලකුණු වන්නේ මහින්දාගමනය සිදු වූ ක්‍රි. පූ 3 වන සියවසේ නොව අධිරාජ්‍යවාදී යුගයේ දීය.

සිද්ධිමය වශයෙන් සලකා බලන විට 'අශෝක රජු', 'ධර්මාශෝක' වූ බව තිස්ස රජු දැනගත යුතු වන්නේ 'මම තෙරුවන් සරණ ගියෙමි.. ඔබ ද තෙරුවන් සරණ යන්න' යනුවෙන් සඳහන් වූ බව කියන තල්පත ලැබුණායින් පසුව වුවද උණ පඳුරක් අසල තිබී ඉතා පහසුවෙන් ලබාගන්නා නිධන් භාණ්ඩ රජ වාසලට ගෙන ආ පසු 'මෙම වටිනා භාණ්ඩ සියල්ල හා පඬුරු පාක්කුඩම් ලෙස මා මිත්‍ර ධර්මාශෝක මහ රජුට යවන්න කැමතියි' යනුවෙන් කියා සිටියි.

මේ අයුරින් සිද්ධිමය වශයෙන් ද, කාල අවකාශ නොතකා හැරුණු අවස්ථා බොහෝ දක්නට ලැබෙයි.

සිනමා කෘතිය තුළ විශ්වසනීයත්වය රැකීමට දර්ශන තල සැකසීමේදී යුගයේ නිෂ්පාදන මෙවලම් පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබුණ ද, ඒ පිළිබඳව ද සැලකිල්ලක් යොමු කළ බවක් දක්නට නොලැබේ. තණ්තිරිමලේ බණ ශාලාව 'රජ මාලිගය' ලෙස ගොඩනංවද්දී ගල් තලාවට කිසිදු සම්බන්ධයක් නැති වග පැහැදිලිව පෙනෙන සෘජු ෆෝම් ගල් කණු, අලංකාර කැටයම් සහිත නූතන ලී බඩු, රෝම යුගයේ කැටයම් හා චීන අභාසයෙන් නිර්මිත කැටයම් වලින් යුතු දොරටු, රටා නොතිබුණු යුගයක රටා දමා වියපු පැදුරු, අනුලා බිසවගේ හිස මුඩු කරනු පිණිස ඒ මොහොතේ කඩෙන් ගෙනා දැලි පිහිය, සර්වඥ ධාතූන් වැඩම කරවන පෙරහැරේ ගෙන එන ධජවල ජාතික කොඩියේ සිංහයා වර්ණ පමණක් වෙනස්ව එකී හැඩයෙන්ම ලෙලදෙමින් සිටීම, සේරුගේ වෙළඳාමේ ගෙනියන පෙට්ටියේ ප්ලාස්ටික් පබළු, සුදු යකඩ, රන් පාට තැවැරූ කම්බි පිටකොටුව පදික වේදිකාවෙන් ගත් අයුරින්ම තිබීම ආදී බොහෝ නිදසුන් දිය හැකිය.

මහින්දාගමනය කතා පුවත ගොඩනැංවීමේදී, චරිත ගොඩනැංවීමේදී මෙන්ම, චරිත සම්බන්ධීකරණයේදී ද අතපසුවීම්, නොගැලපීම් බොහෝය. චිත්‍රපටයේ හරි අඩකටත් වඩා ගෙවී යන්නේ මහානාග කුමරු ඝාතනය කිරීමට රජ බිසව දරන උත්සාහයයි. එකී උත්සාහය මහින්දාගමනයට අදාළවන්නේ කෙසේදැයි යන පැනයට පිළිතුරක් කෘතිය තුළින් හෝ වංශකතාකරුවන් කෙරෙන් හෝ නොලැබීම කනගාටුවට කරුණකි.

අනෙක් අතට මහානාග කුමරු මැරීම සඳහා කුමන්ත්‍රණය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ සෙවීමට රජුට හෝ අවම වශයෙන් මහානාගට හෝ වුවමනාවක් තිබූ බවක් නොපෙනෙන්නේ ඉසිකිලිට මරණ දඬුවම නියම කිරීමෙන් සිද්ධිය සමථයකට පත් නොවන හෙයිනි. අවම වශයෙන් තිස්ස රජුගේ පුත් කුමරු වස පෙවූ අඹ ආහාරයට ගැනීමෙන් මිය ගිය පසුව හෝ ඒ පිළිබඳ සෙවීමට රජුට උනන්දුවක් ඇති නොවෙයි. දෙවනපෑතිස් රජු දවස මහා වැව් අමුණු බොහෝ ප්‍රමාණයක් සැදුව බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හෝ වංශකතා සාහිත්‍ය තුළ හෝ කරුණු හමු නොවෙතත් මහානාග මහා වැව් අමුණු සාදන බවක් නිතර කියයි. වාරි තාක්ෂණය එතරම් දියුණුව නොපැවති ඒ යුගයේ මහ පැරකුම්බාවන්ගේ ප්‍රසිද්ධ කියමනක් වන 'වැසියාට මෙහෙ නොකොට එකදු දිය බිඳක්වත් මුහුදට යාමට ඉඩදිය යුතු නැතැයි' තිස්ස රජුද කියයි. මඩවගුරක් සුද්ධ කොට වැවක් තනන බවක් එක් දර්ශන තලයක පැවතියද, මහානාග කුමරු ඈතට අත දිගුකොට වැවේ සීමාව කියද්දී හෝ දර්ශන තලය තුළ මහානාග කුමරු මිස වැව් සීමාවේ ඈත නොපෙන්වන්නට තරම් කැමරාකරු පරිස්සම් වෙයි. ඕනම කෙනෙකුට කිසිදු අතුරු ආන්තරාවකින් තොරව යුව රජු වන මහානාග කුමරුට ලංවෙන්නට හැකිවෙයි. කැලෑ පාරක් දිගේ ගෙනා අඹ කූඩයක් කිසිදු ආරක්ෂක සෙනෙවියකුගේ ඇස නොගැටී හා සැක නොසිතෙන පරිදි තබා යන්නට හැකිවීමද පුදුම සහගතය. බුදු දහම මහා ඉහළ අගය කිරීමකින් යුතුව පිළිගත් තිස්ස රජු, අරිට්ඨ කුමරු ශ්‍රී මහා බෝධි අංකුරය වැඩම කරවන අවස්ථාවේ ඇතු පිටින් යන අතර මහ රහතන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය බිමින් වැඩම කරවයි. චිතකයක් දැවී අළු වන්නේ පියවරෙන් පියවර ගින්න වර්ධනය වීමෙන් වුවද, පෙට්‍රල් පවා නොතිබුණු යුගයක ගින්න එකවර බුර බුරා ඇවිලෙයි. බෝධිය රෝපණය කිරීම, සර්වඥ ධාතූන් වැඩමකරවීම ආදී අවස්ථාවන් මායාකාරී ලෙස මැජික් සංදර්ශනයක් කර ඇති බැවින් බුදු දහමේ යථාර්ථවාදී භාවය පසක් කරවීමට කිසිදු උත්සාහයක් ගෙන නොතිබීම ද විශාල අඩුවකි.

මහින්දාගමනය යනු ශ්‍රී ලාංකික ඉතිහාසය තුළ හැරවුම් ලක්ෂ්‍යයක් බැව් අවිවාදිතය. එහෙත් එමගින් රටේ පුනර්ජීවයට සිදුවූ මෙහෙය හෝ අවම වශයෙන් ඒ බව කියාපෑම සඳහා ගන්නා ප්‍රවේශයක් හෝ 'මහින්දාගමනය' චිත්‍රපටය තුළින් අපට හමුනොවේ. සමස්ත චිත්‍රපටය පුරාම සිනමාත්මක බවින් පිරිපුන් රූප රාමු හෝ දර්ශනයක් හමුනොවන තරම්ය. චිත්‍රපටය පුරා ඇති රූප රාමු 'තැබුවා ගැහුවා' වර්ගයේ මෙගා ටෙලි නාට්‍ය රූ ගත කිරීම් සිහිගන්වයි. චිත්‍රපටයේ සියලුම රංගන ශිල්පීන් තමන්ට කිසිදු සබඳතාවයක් නැති චරිතයකට ආදේශ වීමට ඇති අසීරුභාවයට කදිම නිදසුන් සපයන අතර ඕෂධී හේවාමද්දුම හා දිල්හානි ඒකනායක තරමක් හෝ සිය චරිතයට සාධාරණයක් ඉටු කරන්නට වෙහෙසුනද විටෙන් විට එහිද සමබරතාවය බිඳ වැටෙනු දක්නට ලැබෙයි.

එහෙත් මඟහැර යා නොහැකි ප්‍රශ්නයක් අවසානයට ඉතිරි වේ. සිනමාව ගැන හෝ ඓතිහාසික සංසිද්ධීන් මනාව ගලපා ගැනීමට හෝ අවබෝධයකින් නැතිව වුවද සනත් අබේසේකර නම් මිනිසාට මෙවැනි රූප පෙළක් අතනින් මෙතනින් ඇහිඳා සිනමා කෘතියක් ලෙස හඳුන්වා තිරගත කිරීමට සිදුවන්නේ ඇයි.. ? මෙවැනි විකාර සහගත රූප පෙළකට රාජ්‍ය අනුග්‍රහය හිමිවන්නේ ඇයි..? තවත් එවැනිම ක්‍රියාදාමයක් සඳහා ජයන්ත චන්ද්‍රසිරි ඇඟිලිගනිමින් සිටින්නේ ඇයි...? 'මහින්දාගමනයට දුන්නු සහයෝගය මටත් දෙන්නකෝ' ජයන්ත ආණ්ඩුවෙන් ඉල්ලමින් සිටින්නේ ඇයි?

බියපත් කරවන යථාර්ථය හා පලායාමේ ස්වර්ණමය දොරටුව

ලෝක ඉතිහාසය තුළ සිදුව ඇති විපරිවර්ථනයන්, එසේ සිදු වීමට ප්‍රථම සිය පරිකල්පනය තුළින් ප්‍රතිනිර්මාණය කරන්නට නිර්මාණකරුවන්ට හැකිවී තිබේ. ඇතැම් විපරිවර්ථනයන් සිදු වූ පසු ඒ තුළින් තමන්ට ඇති වූ කම්පනය සිනමාව, කලාව, සාහිත්‍යය තුළ ප්‍රතිනිර්මාණය කර තිබේ. තවත් විටෙක සමකාලීන සමාජ, ආර්ථීක, දේශපාලනික, සංස්කෘතික බලපෑම්, සංසිද්ධීන් මෙන්ම ඛේදවාචකයන් කෙරෙහි නිර්මාණකරුවා සවිඥානක මැදිහත්වීම් කර තිබේ. ලෝක කලා ඉතිහාසය තුළ මඟහැර යා නොහැකි ලෙස ඉතිරිව ඇත්තේ එවැනි සම්භාවනීය මිනිසුන්ගේ නිර්මාණාත්මක ශ්‍රමයයි.

11 වන ලෝක යුද්ධයෙන් පසුව සිදු වූ සමාජ දේශපාලනික පරිහාණිය මෙන්ම සාමාජීය වරදකාරිත්වය, නවීනත්වය පිළිබඳ වූ බලාපොරොත්තු, අනෙක් අතට ආර්ථීක වශයෙන් බිඳවැටීම හා සම්පත් හිගවීම වැනි අභියෝග වලට මුහුණ දෙන්නට සිදුවීම ආදී හේතු නිසාම ඉතාලියානු නව තාත්විකවාදී සිනමාවත්, ඊට සමගාමීව ප්‍රංශ නව රැල්ල බිහිවීමත් සිදුවිය. එයින් ලෝක සිනමාව නව මානයකට ඔසවා තබනු ලැබිණි. අනෙක් අතට තමන්ට මුහුණ දෙන්නට සිදු වූ පවත්නා පාලන තන්ත්‍රයේ නින්දා සහගත මර්දනයට එරෙහිව තම කලා භාවිතය අවියක් ලෙස අමෝරා ගන්නට ලුවී බුනියෙල් තුළ තිබූ අප්‍රතිහත ධෛර්යය නිසා ලෝක සිනමාවට අධිතාත්විකවාදී ප්‍රවණතාව දායාද කරන්නට ඔහුට හැකි විය. එහෙත් නිදහස ලබා 60 වසරකටත් වැඩි කාලයක් ගෙවී ගියද, දකුණේ කැරැලි දෙකක් සහ උතුරේ කැරැල්ලක් තුළින් ජීවිත, දේපළ ලක්ෂ සංඛ්‍යාත ගණනක් අකලට මිහිදන් වුවද, ප්‍රජාතන්ත්‍රවාදයේ අවම කොන්දේසි ටිකවත් සපුරා ගන්නට නොහැකිව ගෝත්‍රික සමාජ සබඳතා ජාලයක සාඩම්බර හිමිකරුවන් වන අප පවත්නා කටුක සමාජ යථාර්ථය අර්ථ දක්වාගන්නට උත්සාහයක් හෝ නොගන්නේ මන්ද යන කාරණය වඩා වැදගත්ය. එකී අත්දැකීම් නිර්මාණ තුළට ගෙන එන්නට දරන උත්සාහයක් නොමැතිවීම කනගාටුවට කරුණකි. අද්‍යතන සමාජ ජීවිතය සැබෑ කෲරත්වය වෙනුවට හෙට දවස වඩා යහපත් කරනු පිණිස හීනදැකීම හෝ ඒ වෙනුවෙන් ක්‍රියාකිරීම වෙනුවට අපි අතීතයට පසුබැස යථාර්ථය තුළ හමු නොවන හා නොතිබුණු අතීතයක් පිළිබඳ කංසාවෙන් පෙලෙන නොස්ටැල්ජියානුවන් වෙමු. එදිනෙදා මුහුණ දෙන දරාගත නොහැකි බිහිසුණු යථාර්ථය අපව භ්‍රාන්තියට පත්කරන නිසාම, එය දරාගත නොහැකි ක්ෂිතිමය අත්දැකීමක්(trumatic experiance) වන නිසාම එය දරාගත හැකි යමක් බවට පත් කර ගැනීමට අපව නිරන්තරයෙන් පොළඹවන බව මනෝ විශ්ලේෂණය නම් විෂය ක්ෂේත්‍රය තුළ සාකච්ඡාවට ලක් කෙරෙයි. නිදසුනක් ලෙස නිදහසේ හුස්ම ගන්නට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතිය මොහොතින් මොහොත හැකිලෙමින් පවත්නා විට එය පිළිගැනීම යනු මට මාව අභිමුඛ කරන්නා වූ වේදනාත්මක අත්දැකීමකි. එසේ හෙයින් ඒ පිළිබඳ මෙනෙහි කිරීමේ බිය ජනක අත්දැකීමෙන් මිදීම සඳහා ඒ වෙනුවට අතීත රජ දරුවන් ගැන, අතීත ශ්‍රී විභූතිය පිළිබඳ මෙනෙහි කිරීම මා සැහැල්ලු කරවයි. ලාංකික නිර්මාණකරුවන් අනාගතයට ඇරුණු ඇස් දෙකක් වෙනුවට අතීතයට විවර වුණු මනසකින් යුතු වන්නනේ ඒ නිසාදෝයි සැක සිතෙයි.

පණ්ඩුකාභය රජ පුවත රැගත් ජැක්සන් ඇන්තනීගේ 'අබා' චිත්‍රපටය සාර්ථකව තිරගත කෙරුණු අතර කාලීන පාදඩකරණය වූ නීතිය හා පිළිවෙළ ප්‍රශ්න කළ අශෝක හඳගමගේ 'අක්ෂරය' තහනම් කෙරිණි. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව බිහිවුණු මහින්දාගමනය තිරගත වන අතර ජයන්ත චන්ද්‍රසිරිගේ 'මහ රජ ගැමුණු' රූගත වෙන්නට නියමිතය. අක්ෂරය තහනම් වූ යුගයේ එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙන්ම රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රසිද්ධියේ කියා සිටියේ 'අලි පැටියෝ ඔයයි මමයි වගේ හොඳ චිත්‍රපටි හදන්න එතකොට කිසිම ප්‍රශ්නයක් නෑනේ' කියලයි. අශෝක හඳගම මෙවර 'විදූ' නමින් එවැනි චිත්‍රපටයක් නිර්මාණය කරන ලදී. සැබවින්ම ඔහුට දැන් කිසිදු ප්‍රශ්නයක් නොවේ.
 
  ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
"සෙක්ස් අඩස්සියෙන්" පීඩා විඳින ලෝකයේ විනීතම රට
 
 
ලිංගික උත්තේජනය ලබාදෙන ඖෂධ භාවිතය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පහුගිය දිනෙක වෛද්‍යවරයෙකු පවසා තිබුණා. "ලිංගිකත්වය" කියන වචනය සදාචාර විරෝධී වචනයක් බවට නාමකරණය වෙමින් පවතින විට අනෙක් අතට ලිංගිකත්වය සමාජය තුළ පිළිඹිඹු වන්නේ එක්තරා විකෘති මෙන්ම සාහසික ස්වභාවයකින් කියන එකට උදාහරණ ඕනෑ තරම් අපේ සමාජය ඇතුලේ අහන්න දකින්න ලැබෙනවා. මර්ධනය කර යටපත්කර තිබෙන සාමාන්‍ය මිනිස්සුන්ගේ ලිංගික ජීවිතයේ විකෘතියට හසුවූ අලුත්ම බිල්ල මාතර ප්‍රදේශයේ දස හැවිරිදි පාසැල් සිසුවියක්. රාජ්‍ය සේවයේ වගකීම් රහිත ස්වභාවයත් සමගින් සිද්ධ වූ මේ අවාසනාවන්ත සිද්ධියේ සැකකාර හිටපු නාවික හමුදා සෙබළා කිසියම් (අ)හේතුවක් මත පොලිස් අත්අඩංගුවේ සිට මිය යෑමට පෙර, ඔහු තනියෙන් වගකිව නොයුතු අපේ සමාජ වටපිටාව හා ලිංගිකත්වය පිළිබදව යම් නිරීක්ෂනයක් කරමු.

ඒබ්‍රහම් මාස්ලෝගේ සුප්‍රකට අවශ්‍යතා ධූරාවලියේ මිනිසාගේ ප්‍රාථමික අවශ්‍යතාවක් ලෙස හදුනාගෙන ඇති කෑම, ජලය, වාසස්ථාන, වාතය වැනි දෑ අතරට ලිංගිකත්වයත් ඇතුලත්. ඒ අනුව ලිංගික හැගීමක් ඇතිවෙන එක හරි, ලිංගික සම්බන්ධයක් පවත්වන එක හරි පිරිමියෙක්ට විතරක් නෙවෙයි ගැහැණියකටත් පොදු ස්වභාවික සංසිද්ධියක්. එතකොට ලංකාවෙදි "ලිංගිකත්වය" කියන එකට මධ්‍යම පාන්තික සමාජයේ දැවැන්ත සදාචාර බැම්මක් පැවතීම සොබාදහමට විරුද්ධව යාමක්ද? සිංහල බෞද්ධ මතවාද මූලිකත්වයෙන් ගොඩනැගුණු මේ සදාචාර බැම්ම නීතිගත කරන වත්මන් ආණ්ඩුව විසින් අසභ්‍ය වෙබ් අඩවි තහනම, වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට වාරණය ගෙන ආවා වගේම පහුගිය ‍කාලේ නව යොවුන් විය හා ලිංගිකත්වය ගැන වාර්තා වැඩසටහනක් කරපු නිෂ්පාදිකාවක් වැඩතහනමකට පවා ලක්වුනා.

දැන් ලංකාවේ මධ්‍යම පාන්තික ජනසමාජය තුළ පවතින ලිංගිකත්වය පිළිබද සදාචාරමය විරෝධය කොතරම් දුරකට එය යටපත් කර ඇතිද යන්න ප්‍රශ්ණයක්. එක පැත්තකින් තද කරගෙන ඉන්නකොට තවත් පැත්තකින් එය ඉස්මතුවීම සිදුවන්නේ එක්තරා ආකාරයක විනාශකාරී, විකෘතිමය, සාහසිකමය, හාස්‍යමය, ශිෂ්ඨ සම්පන්න නොවූ ආකාර වලින්. එවැනි උදාහරණ කිහිපයක් සලකා බලමු.

ලංකාවේ සිට ඉතාලියේ රැකියාවට ගිය තරුණයින් එරට පොදු ප්‍රවාහන බස්රථයකට නැංගොත් එරට කාන්තාවන් ඒ බස් රථයෙන් බැස යන බවට හාස්‍ය ජනක විදිහට පැවසුවේ මගේ මිතුරෙක්. ලංකාවේ කාන්තාවන්ට වෙනමම බස් රථ වෙන්කරන්න වෙන්නෙත්, දුවලගේ ආරක්ෂාවට අම්මලට බස් එකේ යන්න වෙන්නෙත් ලංකාවේ මේ කියන විකෘති කාමය සහිත වූවන් නිසා. තවත් කෙනෙකුගේ ශරීරයට අනවසරයෙන් අතතැබීම කොතරම් අශිෂ්ඨ දෙයක් වුවත් වසර දෙදහසක් බුදුදහමින් පෝෂිත ලංකාවේ තමයි වැඩිම බස් ජැක්කරුවන් ඉන්නේ. මේ තත්ත්වය සමාජයක පුරවැසියන් ලෙස අප කොපමණ ලැජ්ජාවට පත්විය යුතු තත්ත්වයක්ද?

ලිංගිකත්වය පිළිබදව ලාංකික ජන සමාජයට ඇති පීඩනය පෙනෙන තවත් තැනක් තමයි සිංහල වෙබ් අඩවි. ඒවායේ දැන්වීම් ලෙස පළකර ඇති වැකි නිරීක්ෂනය කළහොත් එකී ප්‍රාථමිකත්වය දැකගන්න පුළුවන්.

"කියන ගාන නෙවෙයි, කාමරේට ගියාම තව ගාණක් - ගණිකාවෝ රෑට අටවන උගුල්"
"සැලීනා ඛාන් දූෂණයට - නිරුවත් වෙයි, පූනම් පාණ්ඩේ නොකරාට මමනම් කරනවා - සැලීනා"
"කෙල්ලෝ නාන තැන් වල වීඩියෝ"
"ලංකාවේ ප්‍රසිද්ධ නිළියකගේ පස්ස පැත්ත ෆේස් බුක් එකේ"
"කෙල්ල කකුල උස්සයි, කොල්ලන්ට ආතල්"
"නිළියගේ රහස් ප්‍රදේශය වීඩියෝ කළ කැමරාශිල්පියා මාට්ටු- වීඩියෝ සහිතයි"
"වැල්ලවත්ත බීච් එකේ කෙල්‍ ලෝ නාන ගමන් කරපු ෆැෂන්"


මෙවැනි ආකාරයේ දැන්වීම් මගින් ජනප්‍රියත්වයක් ලබාගැනීමට ආදාළ වෙබ් අඩවි වලට හැකියාව ලැබී ඇත්තේ ඊට සරිලන ආකාරයේ ‍පාඨක පිරිසක් ලංකාවේ සිටින නිසා.

ලංකාවේ අනියම් ප්‍රේම සම්බන්ධතා ගැන තවත් ප්‍රසිද්ධ ස්ථානයක් වන්නේ දුම්රිය. උදේ හවස දුම්රියෙන් රැකියාවට යන එන පිරිස් අතර සිටින පිරිමි හා කාන්තාවන් විසින් දුම්රියට පමණක් සීමාවූ ආදර සම්බන්ධයක් ගොඩනගා ගන්නවා. තමන්ගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට අසුනක් වෙන්කර ගැනීමේ සිට ආදර බස් දෙඩීම, කෑම කැවීම, ඔඩොක්කුවේ තබාගෙන යාම, අවස්ථාවක් ලද විට කැමැත්තෙක් සිදුකරන ස්පර්ෂ තමයි මේ සම්බන්ධ වල ලක්ෂණ. සතියේ දිනවල දුම්රියේ සහකරු හෝ සහකාරිය ද සති අන්තයේ දිනවල සිය සැබෑ සහකරු හෝ සහකාරියද සමග දුම්රියේ යෑම සුලබ සිදුවීමක්.

ගුරුවරයා අතින් සිසුවිය දූෂණය වෙන එකත්, ආගමික නායකයෙකු අතින් සිය දායිකාවක දූෂණය වන එකත්, සිය පියා අතින් දියණිය දූෂණය වෙන එකත් පිළිබදව උදාහරණ ඕන තරං දෙන්න පුළුවන්. ලිංගිකත්වය පිළිබදව මෙතරම් සදාචාරමය සීමා බන්ධන වශයෙන් ගොඩනගා ඇති පරිසරයක ඒවා සිදුවීම ඇතුලේ මේ පොදු සමාජ පිළිගැනීම් තව දුරටත් කොතරම් වලංගු ද කියන එක සලකල බලන්න අපිව පොළඹවනවා.

ලිංගිකත්වය අමුතු දෙයක් බවට පත්වෙන්නේ ගෑණු ළමයෙක් වැඩිවියට පත්වුනු ගමන්මයි. එතන ඉදලා සාම්ප්‍රදායික ගැණූ පිරිමි ලිංගිකත්වය මැජික් එකක් කරන අතරේ බොහෝම නූතන විදිහට ලිංගිකත්වය මොඩර්න් මැජික් එකක් වෙන්නේ ගෑණු පිරිමි වෙන වෙනම පාසැල් වලට යවන ෆැෂන් එකත් එක්කයි. කෙල්ලෝ කොල්ලොන්ගෙන් බේරගෙන, කොල්ලෝ කෙල්ලොන්ගෙන් බේරගෙන අනාගත ලෝකයට හරියන රොබෝවරයා නිර්මාණය කරන කොට සම්, මස්, ඇට, හැගීම්, දැනීම් වලින් හැදිලා ඉන්න මේ ජීවියගේ ලිංගිකත්වය විකෘති වෙන එක අහන්නත් දෙයක්ද?

ලංකාවේ ලිංගිකත්වය ගැන සාපේක්ෂව විවෘත භාවයක් ඇති තැනක් තමයි විශ්ව විද්‍යාල කියන්නේ. එක්තරා විදියට එහි වන උපසංස්කෘතිය හා බැදුණු වටපිටාවක් මත සාපේක්ෂව විවෘත භාවයක් එහි දකින්න පුළුවන්. ඒ පවතින ස්වභාවය ගැන යටි හිතින් ඇති කැමැත්ත උඩට සදාචාර සළුපිළි අන්දලා විනය නීති හැටියට ක්‍රියාත්මක කරන්න දරණ උත්සාහයන් කොළඹ, ජයවර්ධනපුර වගේම, කැළණියටත් ළගදිම දකින්න පුළුවන්.

‍ලිංගිකත්වය පිළිබදව වන අපේ සමාජයේ ආකල්ප ප්‍රශ්ණ කෙරෙන සාකච්ඡාව ඉතා පැතිරුණු එකක්. මොකද ඒක සමාජයේ මුල් බැසගත් සංස්කෘතික කාරණයක් වගේම, පරිපාලන, නීතිය වගේ දිශාවන්ට විහිදුනු ව්‍යූහමය එකක්. මාතර සිසුවිය දූෂණය වීම කියන්නේ මේ සමස්ත සමාජ ව්‍යූහයේම තවත් එක විකෘති සාහසික සිදුවීමක් මිස හුදු එක මිනිසෙක් නොහික්මුණු ක්‍රියාවක් නෙවෙයි. සමාජයේ තියෙන පීඩනයන් සියල්ල මේ සිදුවීමත් සමග එකී සැකකරුවා මත පටවලා ඔහුගේ මරණයෙන් මිනිස්සුන්ගේ හිත් සනසවා ගන්න පුරුදු වුනාට මෙවැනි සිදුවීම් වල අවසානයක් ඒ මගින් බලාපොරොත්තු වෙන්න බැහැ.

සුපුරුදු ලෙස හැඟීම්බරව මේ සිදුවීමේදී ක්‍රියාකරනවා ද නොඑසේ නම් මේ සමාජයේ නැවතත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නොවීමට ක්‍රියාත්මක වනවා ද යන්න තීරණය කරන්නේ අපේම ඔළුගෙඩිය. කණගාටුවට කරුණ නම් එවැනි බුද්ධිමය වෙනසකට අවශ්‍ය සිතීමකට අපව සංස්කෘතිකවම හුරු පුරුදු වී නොමැති කමයි.

"විවාහයට බාහිරව පැවති ලිංගික සම්බන්ධතාවය අනිකුත් ඕනෑම සමාජ ආයතනයක් මෙන්ම ඒවාට සමාන වූවකි. පුරුෂයාට පක්ෂව ලිංගික ස්වාධිනත්වය දිගටම ගෙයන සම්ප‍්‍රදායකි. ඇත්ත වශයෙන්ම මෙයට විරුද්ධ නොවූවා පමණක් නොව, විශේෂයෙන්ම පාලක පංතිය විසින් මහත් වූ උනන්දුවකින් මෙය ප‍්‍රගුණ කරනු ලැබේ. එහෙත් එය වචනයෙන් පමණක් ඔවුහු හෙළා දකිති. කෙසේ වුවද මේ හෙළාදැකීම නිසා පීඩා විදින්නේ එයින් තෘප්තියට පත්වන පිරිමින් නොවේ. ස්ත‍්‍රීන් පමණකි. ඔවුන් සමාජයෙන් නෙරපා ගෝත‍්‍රයෙන් පිටමං කරනුයේ පුරුෂ වර්ගයා ස්ත‍්‍රී වර්ගයා මත සම්පූර්ණ ආධිපත්‍ය පතුරුවා තිබෙන බව සහ එය සමාජයේ මූලික නීතියක් බව නැවත වරක් ප‍්‍රකාශ කිරීම සදහාය."

පවුල, පෞද්ගලික දේපොළ හා රජය ඇතිවූ හැටි
-එංගල්ස් 69 පිටුව