Tuesday, November 8, 2011

 බුදුදහම මිලිටරිකරණය
 
 
"යුධ පිටියේ මිය යන සොල්දාදුවන් දිව්‍යලෝකයේ නැවත උපදිනවාදැයි එක් යුධ වීරයෙක් විසින් බුදු රජාණන් වහන්සේගෙන් විමසයි. ඊට පිළිතුරක් නොදුන් බුදුන් වහන්සේ නිහඬව සිටිසේක. පිළිතුරක් නොලද හෙයින් නැවත වරක් එම යුධ වීරයා විසින් එම ප්‍රශ්ණයම බුදුන් වහන්සේගෙන් අසනු ලබයි. ඒ අවස්ථාවේද උන්වහන්සේ නිශ්ශබ්දව සිටි‍ සේක. තෙවැනි වරද එම ප්‍රශ්ණයම විමසන ලදුව බුදුන් වහන්සේ විසින් පිළිතුරක් ලබාදෙන ලදී. යුධ පිටියේ මියයන සොල්දාදුවන් දිව්‍යලෝකයේ උපත නොලබයි. ඊට හේතුව යුධපිටියේ මියයන සොල්දාදුවන් විසින් මියයන මොහොතේදී වැළැක්විය නොහැකි ලෙස වෛරයත්, වේදනාවත් හැඟීම් දරණ නිසාවෙන් ඒ හැඟීම් වලට අනුව ඔවුන් අපායේ උපත ලබන බව උන්වහන්සේ දේශනා කළ සේක." (සංයුක්ත නිකායේ XLII වැනි යෝධාජීව සූත්‍රය.)

මානව සමාජය තුළ වඩාත් ව්‍යූහගතව පැතිරුණු සංවිධානාත්මකව ආයතනය "ආගම" යැයි කීවාට වරදක් නැත. ජීව විද්‍යාත්මක මිනිසා මෙහෙයවන ප්‍රධානතම සංස්කෘතික මෙ‍වලම "ආගම"යි. ලෝකය පුරාවට විහිදුණු ආගම් 4200 ක් පමණ ඇතැයි සැලකෙන අතර ඉන් වඩාත් විහිදුණු ආගම් අතලොස්සක් පමණක් ලොව ප්‍රධානතම ආගම් ලෙස පිළිගැනේ.

ආගම යන්න වඩාත් පුළුල් හැඳින්වීමකට භාජනය කළ යුතු වුවත් එමඟින් මිනිසාගේ සදාචාරය, ආචාර ධර්ම නිර්වචනය කොට මනුෂ්‍යයාගේ මනුෂ්‍යත්ව විශ්වාස හා අගයන් පිළිබඳව නිශ්චිත දැක්මක් සිය භක්තිකයන් හට ලබාදෙන්නක් යැයි කිව හැක. මාක්ස්වාදී සරල අර්ථදැක්වීමට අනුව "ආගම යනු අබින්" යැයි දක්වා තිබීම පසුපස ඇති අර්ථය නම්, මිනිසා භෞතිකව පෙළනු ලබන පීඩාවන් ආගම මඟින් වෙනත් දෘෂ්ඨිවාදයක් ගෙනහැර දක්වමින් එහි සැබෑ භෞතික හේතූන් වසන් කිරීම නිසා සැබෑ සමාජ ප්‍රතිරෝධය මඟහැරවීමට හේතුවන්නාක් බවයි. උදාහරණයක් ලෙස ‍භෞතික සමාජ අසාධාරණත්වය හේතුකොට ගෙන පීඩාවට පත්වන පුද්ගලයෙකු එහි සැබෑ හේතු වලට එරෙහිව කටයුතු කරනවා වෙනුවට "කර්මය" "පාපය" "දේවකැමැත්ත" වැනි දෘෂ්ඨිවාදයන් කරණකොට ගෙන නිශ්ක්‍රීයව කටයුතු කිරීමට පෙළඹීම ය.

ආගම හා මානව පරිණාමය දෙස බැලූ විට "ආගම" යනු ස්වභාවික භෞතික තත්ත්වයන් නිර්වචනය කරගැනීම සඳහා නිර්මාණය කොට ගත් මනෝමූලික ක්‍රමවේදයක් යැයි කිව හැක. එය ආයතනිකගත වීම හා බල දේශපාලනය හා සම්බන්ධ වන්නේ මානව සමාජය තුළ "ආගම" විසින් අත්පත්කරගත් ප්‍රබල ස්ථානය නිසාමය. "ආගම" යනු නිරතුරුවම මානව යහපත, සදාචාරය, මානූෂීය අගයන් ආරක්ෂා කිරී‍ම වැනි පාර්ශවයන් නියෝජනය වන සංකල්පයක් යැයි හඳුනාගනු ලැබුව ද ලෝක ඉතිහාසය තුළ සිදුවූ අතිශය දරුණු අමානුෂික ක්‍රියාවන් සඳහා "ආගම" මූලික වීම පුදුම එළවන සුළුය. ජීවිත බිලියන ගණනක් ආගම් වෙනුවෙන් සිය ජීවිත කැපකොට ඇත. විවිධාකාරයේ දෘෂ්ඨිවාදයන් ඔස්සේ අන්තගාමීන් ලෙස ක්‍රියාකරන පිරිස් වර්තමානයේදී ද අතිශය ප්‍රබල බලපෑමක් සිද්ධ කරමින් සිටිති. රුසියාව බිඳවැටීමත් සමඟම ලෝක බලදේශපාලනයේ සමතුලිතතාව බිඳී ගිය ද, අනෙක් අතට විකල්ප බලය ගොඩනැංවීමක් සිදුවූයේ ආගම මත පදනම් වූ බෙදීම නිසා බව නිරීක්ෂණය කළ හැක.

ප්‍රචණ්ඩත්වය හා ආගම පිළිබඳව වන කතිකාවන්හීදී ප්‍රධානකොටම කියැවෙන්නේ ක්‍රිස්තියානි කතෝලික, ඉස්ලාම්, යුදෙව්, හින්දු වැනි ආගම්ය. ඒවායේ ඓතිහාසික ක්‍රියාකාරීත්වයත්, එකී ප්‍රචණ්ඩකාරී ඉතිහාසය පිළිබඳව ඇති  ඉතිහාසයත් මේ සඳහා හේතු වී ඇති බව පෙනේ. ඒ අතර "බුදු දහම" පිළිබඳව කියැවෙන්නේ අවිහිංසාව හා සාමය රැඳි ආගමක් ලෙසටය.

ආගම් අධ්‍යයන පිළිබඳව සහාය මහාචාර්යවරයෙකු ‍වන මයිකල් ජෙරීසන් [Michael Jerryson] හා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව හා ගෝලීය අධ්‍යයන පිළිබඳ මහාචාර්යවරයෙකු වන මාක් ජූවගන්ස්මියර් [Mark Juergensmeyer] විසින් සංස්කරණය කරන ලදුව ඉදිරිපත් කර ඇති "Buddhist Warfare" නම් කෘතිය තුළ ලෝකයේ බුදුදහම අදහන රටවල් කිහිපයක ආගමික සංස්ථාවන් විසින් යුද්ධ හා ප්‍රචණ්ඩත්වය හිංසාව සඳහා සිදුකරන ලද දායකත්වය පිළිබඳව විමසීමක් කරනු ලබයි.

  ආගම තුළින් සිය බැතිමතුන් තුළ මුල්බැස ඇති  විවිධාකාර සන්දර්භයන් තුළදී එකිනෙකට වෙනස් ලෙස ආගම අර්ථදැක්වීමට තුළින් ප්‍රචණ්ඩත්වය කරා මෙහෙයවී ඇති අවස්ථා ද මෙහි ඇතුලත්ය. 

මෙහි එන ප්‍රථම ලිපිය ලියා ඇත්තේ Paul Demiéville විසින් 1957 වසරේදීය. ජපානයේ සිටින වීර භික්ෂූන් [Warrior Monks] විසින් යුධ කාලයන්හීදී දක්වන ලද දායකත්වය මෙම ලිපියෙහි සටහන්ව ඇත. විශේෂයෙන්ම  යුද්ධයට මෙම භික්ෂූන්ගේ දායකත්වය දැක්වූ ආකාරය මෙම ලිපියෙහි ඇතුලත්ව ඇත. Derek Maher විසින් දාහත්වන සියවසය තුළද ටිබෙටයේ හා මොන්ගෝලියාව ආශ්‍රිතව පැවති යුධ වාතාවරණය පිළිබඳව පස්වැනි දලෙයි ලාමා වරයාගේ සටහන් උපයෝගි කොට ගෙන සිය සටහන් තබා ඇත. බොදු දහම දේශපාලන රාමුවක් වෙත විතැන් වීම හා රාජ්‍ය වෙනුවෙන් බුදුදහමේ පෙනීසිටීම කරණකොට ගෙන යුද්ධය සාධාරණීකරණය කරලීම සඳහා ආගම භාවිතා කිරීම මෙම පර්ච්ඡේදය තුළ සාකච්ඡාවට ගෙන ඇත.

Vesna Wallace විසින් මෙම කෘතියේ සිව්වන රචනාව තුළින් මොංගෝලියාව ඇසුරුකොට ගෙන බුදුදහම හා රාජ්‍යත්වය මුසුවීම සමඟ ඇතිවූ ප්‍රචණ්ඩත්වය සාකච්ඡා කොට ඇත. විශේෂයෙන් අනෙකුත් ආගම් යටපත් කිරීමට රාජ්‍ය බලය යොදා ගැනීමත්, මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට යොමුවීමත් එහි වැදගත් ලක්ෂණය. Brian
Victoria විසින් ඉදිරිපත්කර ඇති ජපානයේ "සෙන් නැමැති සෙබළා" නැමැති සංකල්පය භාවිතය (මෙහි "සෙන්" යනු "සෙන් බුදුදහමයි") හා එමඟින් යුද්ධය සාධාරණීකරණයක කිරීම වෙනුවෙන් දෘෂ්වාදීමය සහයෝගය ලබාගැනීම පිළිබඳව විවරණයක යෙදේ.
 
ඩැනියෙල්. ඩබ්. කෙන්ට් විසින් ලියා ඇති රචනය තුළ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුවක් විසින් දමිළ එල්ටීටීඊ සංවිධානය හා යුධවැදී සිටින රජයේ හමුදාව වෙත ධෛර්ය පළකරමින් සිය ධර්ම දේශනා පවත්වන ආකාරය සඳහන්ව ඇත. විශේෂයෙන් බුදුදහම සිංහල ජාතිකවාදය වෙත ලඝුකිරීමත්, හිංසාව වක්‍රාකාරයකින් සාධාරණීකරණය කිරීම මෙහි නිරීක්ෂණය කොට ඇත.

බුදු දහම රාජ්‍ය පාලනය දක්වා විතැන් වීමත්, එහි ජාතිකවාදී මුහුණුවර වඩ වඩාත් ව්‍යාප්ත වීමක් පිළිඳව කතිකාවන් බහුල සමයෙක "බුදුදහම හා මිලිටරිකරණය" පිළිබඳව විද්වත් කතිකාවකට ඉඩසලසන මෙවැනි කෘතියක් කාලීනව ශ්‍රී ලාංකික පාඨකයාට වැදගත් ඉසව්වක් අනාවරණය කරන්නේ යැයි කිව හැකිය. ආගමේ ජාතිකවාදී මුහුණුවරක් ගැනීම ලංකාවට පමණක් සීමා වූවක් නොවන බව මෙම කෘතියේ එන රචනා මඟින් පැහැදිලිව ඔප්පු කොට ඇත.

එක් පසෙකින් ආගමික සදාචාරය නීතිගත කිරීමට උත්සාහ ගන්නා අතරතුර, තවත් පසෙකින් බෞද්ධ සදාචාරයට එරෙහි බාහිර සතුරෙකු පිළිබඳව වන භීතිකාවක් නිර්මාණය කරමින් රටවැසියා වඩාත් පටු මානසික මට්ටමක් දක්වා පෙළගස්සමින් සිටී.

  සංඛ කිරිඳිවැල

No comments:

Post a Comment