| දන්නා තරම් සේරම කඩු හරඹ දමා- ඇල්මෙන් උගන්නා 'අකුරේ' ඵලය කිමා? |
![]() |
| ජීවිතයම දුකයි කියා උදේ හවා අහන්නට ලැබෙන රටක "දුක"ම එක්තරා ආකාරයක වින්දනයක් බවට පත්කරගෙන ඇත. මේ නිසාම දුකෙන් මිදීමට යැයි කියා තව තවත් දුකම වැළඳගැනීම සුලබ දෙයකි. වැඩිහිටියන් විසින් පාරම්පරිකව අනුගමනය කරන මෙකී දර්ශනය නිසා අවසාන වශයෙන් අතිශය දරුණු ඛේදවාචකයකට පත්ව ඇති ලංකාවේ පාසැල් ශිෂ්‍ය ප්‍රජාවේ- එක් කොටසක් මේ දිනවල තමන් විඳින්නාවූ සසර දුකින් එතෙර වීමේ දුක කෙළවරෙහි වෙති. විවෘත ආර්ථිකය එකවර ප්‍රාදූර්භූත වීමත් සමඟම භාණ්ඩමය වශයෙන් සීග්‍ර සංවර්ධනයක් අත්කරගත් විට එය දුටු ලාංකිකයින් දුක ලෙස නිර්වචනය කළේ භාණ්ඩ පරිභෝජනයට ඉඩකඩ නොලැබීමයි. එතරම් බඩු භාණ්ඩ නොතිබූ තම කුඩා කාලයේදී අල්ප ලෙස භාණ්ඩ පරිභෝජන කර තිබීම වත්මන් වැඩිහිටියන්ට අනුව "අපා දුක්" විඳීමකි. තමන් විඳි එකී දුකෙන් සිය දරුවන්ව එතෙර කරකරවීම මෙකළ දෙමාපියන්ගේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත. තමන්ගේ සමාජ තත්ත්වය, අසීමිත ධනස්කන්දයක් රැස්කරගැනීමට වඩාත් පහසුම මාර්ගය ලෙස අධ්‍යාපනය, දැනුම දෙසට කෙන්ද්‍රගතව පවතින බවට සමාජයේ උදාහරණ බොහෝමයක් ඇත. එහෙයින් තමන්ගේ දරුවන්ට කෙසේ හෝ ඉහළ අධ්‍යාපනයක් ලබාදීමට සමාජයේ බහුතරයක් දෙමාපිය පිරිසක් උත්සුක වී ඇත. ලංකාවේ අධ්‍යාපනය තුළ තීරණාත්මක වන්නේ ජනප්‍රිය පාසැල්වලට තෝරාගැනීම සඳහා වන පහ වසර ශිෂ්‍යත්ව විභාගයත්, උසස් අධ්‍යාපනය සඳහා කඩඉම් විභාගය වන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයත්ය. සමාජයට යහපත් මනුෂ්‍යයෙකු බිහිකිරීම උදෙසා ඉවහල් වන මිනිස් ජීවිතයේ අතිශයින්ම තීරණාත්මක කාලපරිච්ජේදයක් තුළ පැවැත්වෙන මෙකී විභාග ක්‍රමය නිසාම, අනාගතයේ බිහිවන්නේ හැඟීම් දැනීම් නැති, තාර්කික බවක් හෝ විචාරශීලී බවකින් තොර කොටින්ම මනුෂ්‍යයෙකු ලෙස සුවිශේෂී සාමාජයීය ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ නොවූ හිස් ශරීරයකි. ළමා වියේ සම්පූර්ණ කළ යුතු කායික හා මනෝමය අවශ්‍යතා තෘප්ත නොවෙමින් නව යොවුන් වියට පියමනින දරුවන් කිසිලෙසකින් වත් ළමාවියෙහි සිදුවිය යුතු ආකාරයකට ගොඩනැංවීමක් හෝ පරිණත වීමක් සිදුනොවේ. එමඟින් පරිපූර්ණ මනුෂ්‍යයෙකු ලෙස සමාජගත වනවාට වඩා සිදුවන්නේ යාන්ත්‍රික ලෙස තරඟාකාරී හැඟීමකින් යුතු සමාජයට බද්ධ නොවූ පුද්ගලයෙකු ලෙස නව යොවුන් වියට පිවිසීමයි. නව යොවුන් විය යනු ජීවිතේ ඇති සුන්දරතම අවධියක් ලෙස බොහෝ දෙනෙකු හැඳින්වුවද, අවුරුදු 16 සිට අවුරුදු 19, 20 දක්වා කාලය ලාංකික තරුණ තරුණියන්ගේ ජීවිතයේ අමිහිරිතම කාලපරිඡේදයක් බවට පත්ව ඇති බව කිවහොත් පුදුමයක් නොවේ. දරාගත නොහැකි මානසික පීඩනයෙන් යුතු, නිවෙසේ සාමාජිකයින්ගෙන් සහ සමාජයේ විවිධ කොටස් වල නිබඳ විවේචනයන්ට හසුවන, තමාට ඉටුකළ නොහැකි බලාපොරොත්තු ප්‍රමාණයක් කරපිට පටවා, බැරි බැරිව හෝ ඉලක්කය දක්වා යාමට බලකෙරෙන අමිහිරි අත්දැකීම් රාශියක් විඳීමට මෙකළ ලාංකික නව තාරුණ්‍යයට සිදුව තිබේ. සම්පූර්ණයෙන්ම නිදහස් යැයි සම්මත අධ්‍යාපනයක් ලබාදෙනවා යැයි කීවද, උසස්පෙළ ඉගෙනගන්නා ශිෂ්‍යයෙකු හට කිසිඳු ප්‍රමිතියකින් තොර අධ්‍යාපනයක් මුදලට ලබාගැනීම සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැයකිරීමට මෙම අධ්‍යාපන ක්‍රමය විසින්ම බලකෙරී ඇත. ලංකාවේ ප්‍රධානතම කෝටිපතියන්, ප්‍රාදේශීය ධනවතුන් රාශියක් "ටියුෂන්" ගුරුවරුන් බවට පත්ව ඇත්තේ ලංකාවේ "නිදහස් අධ්‍යාපනයේ" තරම නිසාමය. තවෙකක් තබා ලංකාවේ වත්මන් අධ්‍යාපන ඇමතිවරයාද කලකට පෙර සුප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරෙකු වීම නිදහස් අධ්‍යාපනයේ යථා ස්වභාවය මැනවින් වටහා දෙන්නකි. උසස්පෙළ විභාගයේ ඇති කොන්දේසි විරහිත තරඟකාරීත්වය විසින් සිසුන් ගණනාවකට තමන්ගේ ජිවිතය විනාශකරගැනීමට බලකර ඇත. තවත් පිරිසකට විවිධාකාරයේ රෝගාබාධ, විශේෂයෙන් මීමැස්මොරය, නියුරෝසීය මනෝ අක්‍රමතාවන් මෙන්ම සයිකෝසීය මනෝරෝගාබාධයන් ද සුලබ කර ඇත. ගැස්ට්‍රරයිටීස් වැනි රෝග උසස්පෙළ ඉගෙනගන්නා ළමුන්ගෙන් 100%කටම පාහේ වැළඳී ඇති රෝගයකි. ඊට හේතු වන්නාවූ ප්‍රධානතම කාරණා වන අධික මානසික පීඩනය හා කලට වෙලාවට ආහාර නොගැනීම ලාංකික උසස්පෙළ සිසුන්ගේ ජාති ලක්ෂණයකි. මේ අතර තුර ජනප්‍රිය යැයි සම්මත කොළඹ පාසැල්වල සිසුන්ගේ සියදිවි නසාගැනීමේ විවිධ උත්සාහයන් කළින් කලට වාර්තා වුවද, ඒවා සාමාන්‍ය ජනතාව අතරට යෑම වැළැක්වීමේ වෙනමම යාන්ත්‍රණයක් ද යටිපෙළින් ක්‍රියාත්මක බවද සඳහන් කළ යුතුව ඇත. මෙකී විකෘති උසස්පෙළ විභාග අකෘතිය නිසා සිදුවන ප්‍රධානතම පාඩුව නම් ලංකාවේ ඇති තෝරාගත් හොඳම බුද්ධියක් ඇතැයි සම්මත සිසුන් විශාල ප්‍රමාණයකගේ මනස විකෘති කිරීමත්, ජීවිතය යනඑන මං නැතිව ගොස් අවසාන වශයෙන් රටේ දියුණුවට වඩා හිතකර දායකත්වයක් ලබාගත හැකිව තිබූ බුද්ධිමතුත් බහුතරයක් උපන්ගෙයි විනාශ වීමත්ය. පහවසර ශිෂ්‍යත්වය විභාගය යනු ලංකාව පුරා විසිරී සිටින බුද්ධිමත් ළමුන් සියල්ලක්ම පාහේ කොළඹට හෝ වෙනත් නගර ආශ්‍රිත ප්‍රදේශ සඳහා ආකර්ෂණය කරගන්නා වූ මූලිකම යාන්ත්‍රණයයි. මෙකී ළමුන් සියල්ල එකට කටයුතු කිරීම නිසා අධික තරඟයක් හටගන්නවා සේම, උසස් අධ්‍යාපනයෙන් පසු ඇතිවන රැකියා වෙළඳපොළ පිළිබඳව ඇති පටු දැක්ම නිසාම මෙකී තරඟයේ පරාසය වඩාත් පටුවේ. සරළව ගතහොත් දැඩි තරඟයක් පවතින්නේ ගණිත අංශයෙන් ඉංජිනේරු උපාධියක් ලබාගැනීම සඳහාත්, ජීව විද්‍යා අංශයෙන් වෛද්‍ය උපාධිය ලබාගැනීම වෙනුවෙන්ය. අතරමැද එකඟතාවක් නොවන නිසාවෙන් සීමිත අවස්ථා ප්‍රමාණයකට දරුණු තරඟකාරීත්වයක් ඇතිවේ. රටපුරා විසිරී සිටින සියළු උසස්පෙළ සිසුන්ගෙන් මෙකී අවස්ථාවේ ජයග්‍රහණයට නොකරන බහුතරයට සිදුවන්නේ මෙතෙක් තමන් විසින් අපෙක්ෂා නොකළ ගමනක් යෑමටය. පහ වසර ශිෂ්‍යත්වය සමත්ව නගරයට පැමිණ අධ්‍යාපනය ලබා උසස්පෙළ ජයග්‍රහණය නොකළ පිරිසද මේ අතර වේ. මේ සියළු පාර්ශ්ව වල ශක්‍යතාවන් ගැන කිසිඳු වගවිභාගයක් කිසිඳු පාර්ශවයක් විසින් සොයා නොබලන අතර රටක් ලෙස සංවර්ධනය කරා පියනැඟීමේදී දායකකරගත යුතු පිරිසක් සේවා වියුක්තව අහඹු අවස්ථා සොයා යති. පෙර සඳහන් කළ ප්‍රාථමික හා ද්වීතික මට්ටම් වලදී ලබාදෙන අධ්‍යාපනයේ පරාසය පටුවීම නිසා බොහෝ දුරට පාසැලෙන් පිටවන ශිෂ්‍යයින්ගේ මූලික සමාජ කුසලතාවන් අවම මට්ටමක පවතී. සමාජ ඇසුර, අන්තර්පුද්ගල සම්බන්ධතා, පරාජයන් දරා ගැනීම,ධෛර්ය සම්පන්න වීම, මානසික පීඩනයන් අවම කරගැනීම වැනි සමාජයේදී වැදගත් වන කුසලතාවන්ගෙන් සන්නද්ධ නොවීම රැකියාව, පවුල පමණක් නොව කලාව, දේශපාලනය, වැනි ක්ෂේත්‍රයන් තුලටද සෘණාත්මක ලෙස බලපෑම් සිදුකරන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. ප්‍රශ්ණ කිරීම් හෝ විකල්පයන් පිළිබඳ සිතා බැලීමකට නොපොඹවන අධ්‍යාපන ක්‍රමයක් තුළ නිර්මාණශීලී චින්තනයක් හෝ එතුලින් ලොවට හිතකර මනුෂ්‍යයෙකු නිර්මාණය වේ යැයි බලාපොරොත්තුව උගහටය. තත්ත්වය එසේ වුවද ස්වභාවිකම යම් රැඩිකල් භාවයකට හිමිකම් කියන නව යොවුන් වියේ ලාංකික තරුණ තරුණියන් මුහුණදී සිටින දුක්ඛදායක තත්ත්වය ගැන නැවත සිතාබැලීමක් සිදුකිරීමට ඔවුන්ම පෙළඹීමට ඔවුන් විසින් විඳිමින් සිටින අධික දුක්ගැහැට වුවද ප්‍රමාණාත්මකය. කෙදිනක හෝ මෙකී සිසුන් හා එක්වූ සමාජය සංවිධානගතව ඉදිරිපත් කෙරෙන සමස්ත අධ්‍යාපන ක්‍රමයට එරෙහි විරෝධතාවකදී හැරුණු කොට වගකිවයුත්තන් විසින් වගකීම් සහගත ඉදිරිදැක්මකින් යුතුව කටයුතු කරාවි යැයි බලාපොරොත්තුවීම උගහටය. |
| |
| සංඛ කිරිඳිවැල |
Tuesday, November 8, 2011
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment